මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
IMG-LOGO
නවතම තොරතුරු: පාර්ලිමේන්තු මැතිවරණය - 2020.08.05 පාර්ලිමේන්තු මැතිවරණය - 2020.08.05 පාර්ලිමේන්තු මැතිවරණය - 2020.08.05

පළාත් පාලන ඡන්ද විමසීම් ක්‍රමය

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්වේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතට අදාල වැදගත් සංශෝධන පනත් මොනවාද ?

1. 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත

2. 2016 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්(සංශෝධන) පනත

3. 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත

මිශ්‍ර සමානුපාතික පළාත් පාලන මැතිවරණය යනු කුමක්ද?

යම් පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාස මට්ටමින් සහ පොදු ලේඛනයකින් මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම වේ. ඒ අනුව 2017.10.12 දිනැති 2017 අංක 22 දරන ප්‍රාදේශීය සභා සංශෝධන පනත මගින් මෙම ප්‍රමාණයන් පහත ආකාරයට විය යුතු යැයි තීරණය කර ඇත

    • කොට්ඨාස මට්ටමින්
    60%
    • සමානුපාතික පදනමින් 
    40%

පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාස සහ කොට්ඨාස සඳහා වන මන්ත්‍රීධූර සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ කෙසේද?

පසුගිය සීමා නීර්ණය කොමිෂන් සභාව මගින් ජනගහණය, භූමි ප්‍රමාණය, ජනවාර්ගික පදනම යන කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මේ වන විට දිවයිනේ සියළුම පළාත් පාලන ආයතන සඳහා අදාල කොට්ඨාස මොනවාද යන්න පිළිබඳව තීරණය කර එම තීරණ 2015.08.21 දිනැති 1928/26 අංක දරන සහ 2017.02.17 දිනැති අංක 2006/44 දරන ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතන බෙදා ඇති කොට්ඨාස වර්ග දෙකකි.

  1. කේවල කොට්ඨාස
  2. බහු කොට්ඨාස

 

දිවයිනේ සියළු පළාත් පාලන ආයතන වෙනුවෙන් ඇති කරන ලද කොට්ඨාස සහ සභික සංඛ්‍යාව පහත ආකාරයට වේ.

කොට්ඨාසයේ ස්වරූපය

කොට්ඨාස සංඛ්‍යාව

මන්ත්‍රීධූර සංඛ්‍යාව

කේවල සභික කොට්ඨාස

4750

4750

සභිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත බහු කොට්ඨාස

165

330

සභිකයන් තිදෙනෙකුගෙන් සමන්විත බහු කොට්ඨාස

04

12

එකතුව

4919

5092

 

පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක සමානුපාතික පදනම මත තෝරා පත් කර ගනු ලබන සභික සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ කෙසේද?

සෑම පළාත් පාලන ආයතනයකම කොට්ඨාස මගින් තේරි පත්වනු ලබන ප්‍රමාණය  60%ක් ලෙස සලකා ඉතිරි 40%ක ප්‍රමාණය සමානුපාතික පදනම මත තෝරා ගැනීමට කටයුතු කරනු ලැබේ. එම දෙකෙහිම එකතුව එම පළාත් පාලන ආයතනයෙහි මුළු සභික සංඛ්‍යාව වේ.

 උදා-:

A නම් ප්‍රාදේශීය සභාව

කොට්ඨාස පදනමින් 60% ගණනය කිරීම

කේවල කොට්ඨාස                      - 14
සභිකයන් 02කින්  සමන්විත බහු කොට්ඨාස - 01
කොට්ඨාස වල එකතුව - 15
කේවල අපේක්ෂකයින්  - 14
බහු කොට්ඨාස අපේක්ෂකයින්  - 02
අපේක්ෂකයින් එකතුව - 16
ඒ අනුව කොට්ඨාස පදනමින් 60%  - 16


සමානුපාතික පදනමින් 40% ගණනය කිරීම

මුළු කොට්ඨාස පදනමින් අපේක්ෂකයන් සංඛ්‍යාව      x     40/60

=      16 x 40/60

=      10.66 ( දශම ස්ථාන නොසලකා පූර්ණ සංඛ්‍යාවට ගණනය කරන්න)

ඒ අනුව සමානුපාතික පදනමින් 40% =10

ඒ අනුව A නම් ප්‍රාදේශීය සභාවේ මුළු සභික සංඛ්‍යාව (16+10) = 26 කි.

 

නාමයෝජනා පත්‍රයෙහි ඇතුලත් කළ යුතු අපේක්ෂක සංඛ්‍යාව තීරණය වන්නේ කෙසේද?

සෑම දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක් විසින් ආකෘති දෙකක් යටතේ තම නාමයෝජනා ඉදිරිපත් කළ යුතුය.

කොට්ඨාස සඳහා වන නාම යෝජනා

කේවල කොට්ඨාස සහ බහු කොට්ඨාස ප්‍රමාණය පිළිබඳවද අවධානය යොමු කරමින් පළාත් පාලන ආයතනයට කොට්ඨාස පදනමින් තෝරා පත් කර ගැනීමට නියමිත සභික සංඛ්‍යාවට සමාන අපේක්ෂකයන් සංඛ්‍යාවකගේ නම් මෙම නාම යෝජනා පත්‍රයට ඇතුලත් කළ යුතුය.

සමානුපාතික පදනම සඳහා වන නාමයෝජනා

ඉහත නිදසුනෙහි ගණනය කළ ආකාරයට 40%ක ප්‍රමානය ගණනය කර ලැබෙන සංඛ්‍යාවට අමතර 03 ක් එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවකගේ නම් අපේක්ෂකයන් ලෙස මෙම නාම යෝජනා පත්‍රයට ඇතුලත් කළ යුතුය.

උදා:-

A නම් ප්‍රාදේශීය සභාවේ සමානුපාතික පදනමින් තෝරා පත් කර ගත යුතු සංඛ්‍යාව 10 ක් නම් එම නාම යෝජනා පත්‍රයට අපේක්ෂකයන් (10 + 03) 13 කගේ නම් ඇතුලත් කළ යුතුය.

 

නාමයෝජනා පත්‍රයට ඇතුලත් කළයුතු කාන්තා අපේක්ෂිකාවන් සංඛ්‍යාව ගණනය කරන්නේ කෙසේද?

සෑම දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායමක් විසින්ම ඉහත සඳහන් කළ නාමයෝජනා ආකෘති දෙක යටතේම නියමිත කාන්තා නියෝජනයට අදාලව තම නාම යෝජනා ඉදිරිපත් කළ යුතුය.

කොට්ඨාස සඳහා වන නාම යෝජනා පත්‍රයට ඇතුලත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව පළාත් පාලන ආයතනයට තෝරා පත් කර ගන්නා මුළු සභික සංඛ්‍යාවෙන් 10% කි.

උදා:-  ඉහත  A නම් ප්‍රාදේශීය සභාවේ මුළු සභික සංඛ්‍යාව (16+10) = 26 කි.

           ඒ අනුව තරඟ වැදිය යුතු කාන්තා අපේක්ෂිකාවන් සංඛ්‍යාව

           26 X 10/100   = 2.6 ( දශම ස්ථාන නොසලකා පූර්ණ සංඛ්‍යාව ගැනීමෙන්)

                          = 02කි

ඒ අනුව ඉහත A නම් ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස නාමයෝජනා ලැයිස්තුවට කාන්තා අපේක්ෂිකාවන් දෙදෙනෙකුගේ (02) නම් ඇතුලත් කල යුතුය.

සමානුපාතික පදනම යටතේ වන නාම යෝජනා පත්‍රයෙහි අපේක්ෂක සංඛ්‍යාවෙන් 50% ක් කාන්තා අපේක්ෂිකාවන් ගෙන් සමන්විත විය යුතු වේ.

උදා:-  ඉහත  A නම් ප්‍රාදේශීය සභාවේ සමානුපාතික පදනමින් නාමයෝජනා ඉදිරිපත් කරනු ලබන අපේක්ෂක සංඛ්‍යාව 13 ක් වන බැවින්

13 X 50/100   = 6.5 (දශම ස්ථාන නොසලකා පූර්ණ සංඛ්‍යාව ගැනීමෙන්)

               = 06 කි

 

නාමයෝජනා පත්‍රයට තරුණ අපේක්ෂකයන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් වර්තමාන තත්වය කුමක්ද?

2012 අංක 22 දරන පනතින් 25% ක් ලෙස දක්වා තිබූ තරුණ නියෝජනය 2017 අංක 16 දරන පනතින් 30% දක්වා වැඩි කර තිබුණද එය අනිවාර්‍ය කර නොමැත.

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද අපේක්ෂකයන් වීමට නුසුදුසුකම් මොනවාද?

ඡන්ද අපේක්ෂකයන් වීමට නුසුදුසුකම් - (09 වන වගන්තිය )

(i) ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවීම.
(ii) වයස අවු.18 ට අඩු වීම.
(iii) අධිකරණ නිලධාරියකු වීම.
(iv) සන්නද්ධ හමුදාවල සාමාජිකයෙකු වීම.
(v) පොලිස් නිලධාරියෙකු වීම.
(vi) 2007 ජුනි 01 වන දිනට වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප වර්ෂයකට රු.227,280/- (මාසික රු. 18,940/-) නොඅඩු වැටුප් පරිමාණය සහිත රාජ්‍ය දෙපාර්තමේන්තුවක නිලධාරියෙක් හෝ එම දිනයෙන් පසුව ඇති කරන ලද තනතුරක ආරම්භක වැටුප් පරිමාණයක් දරන රාජ්‍ය නිලධාරියෙකු වීම.
(vii) 2009 ජනවාරි 01 දිනට වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප වර්ෂයකට රු.246,300/- (මාසිකව රු 20,525/-) නොඅඩු එම දිනයට පසුව ඊට අනුරූප වන ආරම්භක වැටුප් පරිමාණයක් දරන රාජ්‍ය සංස්ථාවක නිලධාරියකු වීම.
(viii) අදාළ පළාත් පාලන ආයතනයේ සේවයේ නියුතු නිලධාරියෙකු හෝ සේවකයෙකු, සභිකයින් තෝරා පත්කර ගැනීමේ දිනයට අවුරුද්දක කාලය තුළ සේවය අවසන් කර නොතිබීම.
(ix) එම පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා ඉල්ලා සිටින ඡන්ද විමසීමට අඩුම වශයෙන් එක් වර්ෂයකට පෙර එම පළාත් පාලන ආයතනයේ සේවය කිරීම අවසන් නොවූ එම පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම්වල නියැලි රජයේ නිලධාරියකු වීම.
(x) එම පළාත් පාලන ආයතනය සඳහා හෝ ඒ වෙනුවෙන් ඇති කර ගත් ගිවිසුමක්, එකඟවීමක් පැවතීම හෝ එම පළාත් පාලන ආයතනයෙන් යම් කොමිස් මුදලක් ලබා ගන්නා තැනැත්තෙකු (විශ්‍රාම වැටුප් හෝ පාරිතෝෂික දීමනා ලැබීම් මීට අදාළ නොවේ) වීම.
(xi) නීතියෙන් සිහි විකල බව පිළිගත් තැනැත්තෙකු වීම.
(xii) නීතිය අනුව වස්තු භංගත්වයට පත් වූ තැනැත්තෙකු වීම.
(xiii) මාස 12 ට වැඩි කාලයක් බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් ලැබිය යුතු වරදකට බන්ධනාගාර ගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටීම.
(xiv) මෙම ආඥා පනත් යටතේ ඡන්ද වරදකට වරදකරු කරනු ලැබ වසර පහක් ඉක්මවා නොතිබීම.
(xv) මහජන ආයතන (දූෂණ වැළැක්වීම) ආඥා පනතේ 05 වගන්තියේ වරදකට පරීක්ෂණ කොමිෂන් සභාවක් විසින් නුසුදුස්සකු කරනු ලැබ තිබීම.
(xvi) අපරාධ වැළැක්වීමේ ආඥා පනත යටතේ වරදකරු කරනු ලැබ මාස 03 ට වැඩි සිර දඬුවමක් විඳිමින් සිටීම හෝ විඳ වසර 05 ක කාලයක් ගත වී නොතිබීම.
(xvii) නාමයෝජනා පත්‍ර එකකට වැඩි ගණනක අපේක්ෂකයෙකු ලෙස නම සඳහන් වීම.
(xviii) 1946 ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජසභා ආඥාවේ යම් වරදකට වරදකරු කරනු ලැබ එම ආඥා පනත යටතේ පනවා ඇති විධානයක් යටතේ නුසුදුස්සකු වීම.
(xix) ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1)(උ) ඡේදය අනුව නුසුදුස්සෙකු බවට පත් වීම.
(xx) මහ නගර සභා ආඥා පනත 277 වගන්තිය, නගර සභා ආඥා පනත 184 වගන්තිය, ප්‍රදේශීය සභා පනතේ 179 වගන්තිය යටතේ පළ කරනු ලැබූ නියමයන් මගින් නියමිත දිනයට පසු ඉවත් කරනු ලැබූ තැනැත්තකු වීම. එම ඉවත් කළ දින සිට වසර 05ක කාලයක් ගත වන තෙක් නුසුදුස්සෙකු වේ.

 

ඇප මුදල් තැන්පත් කිරීමට අදාලව දක්වා ඇති විධි විධාන කවරේද?

පිළිගත් දේශපාලන පක්ෂයක එක් අපේක්ෂකයකු සඳහා රු.1500/= බැගින්  ද ස්වාධීන කණ්ඩායමක එක් අපේක්ෂකයකු සඳහා රු.5000/= බැගින් ද වේ.

 

පිළිගත් දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් විසින් ඉදිරිපත් කරනු ලබන නාමයෝජනා ප්‍රතික්ෂේප විය හැකි ආකාර කවරේද?

පිළිගත් දේශපාලන පක්ෂයකට අදාල නාම යෝජනා පත්‍රයක් පක්ෂ ලේකම් විසින් ද, ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍රයක් එහි නායකයා විසින් ද අත්සන් කර නොතිබීම.

නාම යෝජනා පත්‍රය ඉදිරිපත් කරන පිළිගත් දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගේ හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයාගේ අත්සන සාමදාන විනිශ්චයකාරවරයෙකු විසින් විධිමත් පරිදි සහතික කර නොතිබීම.

පිළිගත් දේශපාලන පක්ෂයක නාම යෝජනා පත්‍රයක් එම පක්ෂයේ ලේකම් විසින් හෝ බලයලත් නියෝජිතයා විසින් භාර නොදීම, ස්වාධීන කණ්ඩායමක නාම යෝජනා පත්‍රයක් එහි කණ්ඩායම් නායකයා විසින් භාර නොදීම.

නාම යෝජනා කරනු ලැබීමට නියමිත සම්පූර්ණ අපේක්ෂකයින් සංඛ්‍යාව නාම යෝජනා පත්‍රයට ඇතුළත් කර නොතිබීම.

නාම යෝජනා පත්‍රයට නම් ඇතුළත් අපේක්ෂකයින් සංඛ්‍යාවට නියම වූ ඇප මුදල් තැන්පත් කර නොතිබීම.

නම් කිරීමට නියමිත සම්පූර්ණ කාන්තා අපේක්ෂිකාවන් ගණන නාම යෝජනා පත්‍රයට අන්තර්ගත නොවීම (2017 අංක 16 දරණ සංශෝධිත පනතේ විධිවිධානයකි).

අපේක්ෂකයෙකු විසින් නාම යෝජනාව වෙනුවෙන් සිය කැමැත්ත ප්‍රකාශ කිරීම සඳහා නාම යෝජනා පත්‍රයෙහි අත්සන නොයොදා ඇති විට එම අපේක්ෂකයාගේ පමණක් නාම යෝජනාව ප්‍රතික්ෂේප වන අතර ඒ හේතුවෙන් සම්පූර්ණ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමක් සිදු නොවේ.

අපේක්ෂකයෙකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන උප ලේඛනයේ දිවුරුම අමුණා නොමැති විට එම තැනැත්තාගේ පමණක් නාම යෝජනාව ප්‍රතික්ෂේප වෙයි. එහෙත් එම හේතුව නිසා සම්පූර්ණ නාම යෝජනා පත්‍රයේ ප්‍රතික්ෂේප වීමක් සිදු නොවේ.

සිය වයස සනාථ කිරීම සඳහා තරුණ අපේක්ෂකයෙකුගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් හෝ සිය උපන් දිනය සනාථ කෙරෙන දිවුරුම් ප්‍රකාශයක් හෝ නාම යෝජනා පත්‍රයට අමුණා නැති අවස්ථාවකදී එම අපේක්ෂකයාගේ නම පමණක් ප්‍රතික්ෂේප වේ.

 

ඡන්ද පත්‍රිකාවේ ස්වරූපය කෙසේද?

තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂ වල නම් සිංහල භාෂාවේ අකාරාදී පිළිවෙලින් ඡන්ද පත්‍රිකාවේ භාෂාත්‍රයෙන් දක්වන අතර ඊට පහළින් තරඟ කරන ස්වාධීන කණ්ඩායම් , ඒවා හඳුනා ගැනීමට වෙන් කර දෙන ලද අංක ද සමග දැක්වේ.

ඡන්ද පත්‍රිකාවේ පක්ෂවල නම්වලට ඉදිරියෙන් සහ ස්වාධීන කණ්ඩායම් වලට ඉදිරියෙන් ඒවාට අනුමත ඡන්ද ලකුණු මුද්‍රණය කරනු ලබන අතර එම ලකුණු වලට ඉදිරියෙන් කතිර ලකුණක් යොදා ඡන්දය ප්‍රකාශ කිරීමට හිස් කොටුවක් මුද්‍රණය කෙරේ.

කොට්ඨාස යටතේ හා සමානුපාතික ලැයිස්තුව යටතේ  පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන අපේක්ෂකයින් කවුරුන් වන්නේ දැයි ඡන්ද දායකයාට දැනගැනීමට හැකි වන්නේ නිල ඡන්ද පත්‍රිකා සමග නිවසට ලැබෙන ගෘහ දැන්වීම මගිනි. ඊට අමතරව ඒ ඒ පක්ෂ හා කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින්ගේ නාමලේඛනය  ඡන්ද දායකයින්ට දැන ගැනීම සඳහා සිංහල, දෙමළ, සහ ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන් ඡන්ද පොළ පරිශ්‍රය තුළ තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රදර්ශනය කරනු ලැබේ. මේ නිසා ඡන්ද දායකයාට අපේක්ෂකයින්ගේ නම් ඡන්ද පත්‍රිකාවේ සඳහන් නොවුන ද තමා විසින් පක්ෂයක් හෝ කණ්ඩායමක් වෙනුවෙන් ප්‍රකාශ කරනු ලබන ඡන්දය මාර්ගයෙන් තම කැමැත්ත පළ කරනු ලබන්නේ කුමන අපේක්ෂකයා වෙනුවෙන් දැයි අදහසක් ඇති කර ගැනීමට හැකියාව ඇත.

 

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවනු ලබන්නේ කෙසේද?

කොට්ඨාසයකට එක් ඡන්ද පොළක් පමණක් ඇතිවිට එම ඡන්ද පොළේදී ගණන් කළ යුතුය. එකකට වඩා වැඩි ඡන්ද පොළවල් සංඛ්‍යාවක් කොට්ඨාසයක ඇති විට, තේරීම් භාර නිලධාරි විසින් තීරණය කරන ඡන්ද පොළක දී / ඡන්ද පොළ වලදී ඡන්ද ගණන් කිරීම සිදුකළ හැකිය.

 

මෙම මැතිවරණ ක්‍රමය යටතේ සභිකයන් තෝරා පත් කර ගනු ලබන ආකාරය කෙසේද?

මීට අදාලව සභිකයන් තෝරා පත් කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් ක්ෂේත්‍ර 04ක් පිළිබඳව අවධානය යොමු කළ යුතුවේ.

කේවල කොට්ඨාස මට්ටමින් සභිකයන් තීරණය කිරීම

බහු කොට්ඨාස වලට අදාලව සභිකයන් තීරණය කිරීම

සමානුපාතික පදනම යටතේ සභිකයන් තීරණය කිරීම

කාන්තා සභිකයන් තීරණය කිරීම

මෙම අවස්ථාවන් උදාහරණයක් ඇසුරින් පැහැදිලි කිරීම තේරුම් ගැනීමට පහසුවක් වනු ඇත.

උදා-:

ඉහතින් සඳහන් කරන ලද A නම් ප්‍රාදේශීය සභාව කේවල කොට්ඨාස 14කින් සහ සභිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත බහු කොට්ඨාස 01කින් සමන්විත වන අතර X,Y සහ Z යන දේශපාලන පක්ෂ 03ක් එම ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කරන ලදැයි උපකල්පනය කරමු.

කොට්ඨාසය

ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව

ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව (70%) කොට්ඨාස ජයග්‍රහණය ලබාගත් ඡන්ද සංඛ්‍යාව

X

පක්ෂය

Y

පක්ෂය

Z

පක්ෂය

X

පක්ෂය

Y

පක්ෂය

Z

පක්ෂය

01

4,500

3,150

1,638

1,166

346

01

-

-

02

5,200

3,640

1,893

1,347

400

01

-

-

03

6,600

4,620

1,710

2,402

508

01

-

04

5,000

3,500

1,820

1,295

385

01

-

-

05

6,000

4,200

1,554

2,184

462

01

-

06

4,900

3,430

1,784

1,269

377

01

-

-

07

7,250

5,075

2,639

1,878

558

01

-

-

08

4,750

3,325

1,729

1,230

366

01

-

-

09

5,200

3,640

1,893

1,347

400

01

-

-

10

4,100

2,870

1,492

1,062

316

01

-

-

11

4,600

3,220

1,675

1,191

354

01

-

-

12

5,100

3,570

1,856

1,321

393

01

-

-

13

6,300

4,410

1,632

2,293

485

 -

01

-

14

4,200

2,940

1,529

1,087

323

01

-

-

15

බහු කොට්ඨාසය

8,500

5,950

3,094

2,202

654

02

-

-

එකතුව

    82,200

57,540

27,938

23,274

6,327

13

03

0

 

I. කේවල කොට්ඨාස මට්ටමින් සභිකයන් තීරණය කිරීම

කේවල කොට්ඨාසයට අයත් සියළුම ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද ගණන් කිරීමෙන් පසු වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා ලද පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයා එම කොට්ඨාසයට අදාල සභිකයා ලෙස තේරී පත්වේ.

ඉහත උදාහරණය යටතේ X පක්ෂය  1, 2, 4, 6, 7, 8, 9, 10, 11, 12, 14, යන කේවල කොට්ඨාස ජයග්‍රහනය කර ඇති බැවින් එම පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයන් එම කොට්ඨාස වල සභිකයින් ලෙස තේරී පත් වී ඇති අතර Y පක්ෂය 3, 5, 13 යන කොට්ඨාස ජයග්‍රහණය කර ඇති බැවින් Y පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයන් එම කොට්ඨාස වල සභිකයින් ලෙස තේරී පත් වී ඇත.  Z පක්ෂය කිසිඳු කේවල කොට්ඨාසයක් ජයග්‍රහණය කර නොමැති බැවින් එම පක්ෂය සඳහා කේවල කොට්ඨාස යටතේ කිසිඳු සභිකයකු තේරී පත් වන්නේ නැත.

 

II. බහු කොට්ඨාස වලට අදාලව සභිකයන් තීරණය කිරීම

බහු සභික කොට්ඨාසයක වැඩිම ඡන්ද ලබා ගන්නා දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන ලද දෙදෙනා හෝ තිදෙනා එම කොට්ඨාසයේ සභිකයන් ලෙස නම් කරනු ලබති.

ඒ අනුව ඉහත උදාහරණයට අදාලව X පක්ෂය  අංක 15 දරන සභිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත බහු කොට්ඨාසය ජයග්‍රහණය කරන ලද බැවින් එම පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයන් දෙදෙනා එම බහු කොට්ඨාසයේ සභිකයන් ලෙස තේරී පත්වෙති.

 

III. සමානුපාතික පදනම යටතේ සභිකයන් තීරණය කිරීම

පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුල තරඟ කළ සියළුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ලබා ගන්නා ලද මුළු ඡන්ද සංඛ්‍යාවේ එකතුව එම පළාත් පාලන ආයතනයට තෝරා පත් කර ගැනීමට නියමිත මුළු සභික සංඛ්‍යාවෙන් මෙන් ලැබෙන අගය තීරක අගය නම් වේ.

මෙම තීරක අගයෙන් එක් එක් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබා ගත් ඡන්ද සංඛ්‍යා බෙදීමෙන් එම දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට හිමිවන මුළු සභික සංඛ්‍යාවන් තීරණය කරනු ලබයි.

එම එක් එක් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට හිමිවන මුළු සභික සංඛ්‍යා වලින් ඔවුන් කොට්ඨාස පදනමින් ලබාගන්නා ලද සභික සංඛ්‍යා අඩු කිරීමෙන් පසු ඉතිරිවන ශේෂය එම එක් එක් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලට සමානුපාතික ලැයිස්තුවෙන් හිමිවන සභික සංඛ්‍යාව නිරූපණය කරයි.

යම්කිසි දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක එම ශේෂය ඍණ අගයක් ගන්නේ නම්, එනම් සමානුපාතිකව හිමිවිය යුතු සංඛ්‍යාවට වඩා කොට්ඨාස පදනමෙන් තේරී පත්වී ඇත්නම්  එම වැඩිවන සංඛ්‍යාවෙන් එම පළාත් පාලන ආයතනය සඳහා තේරී පත්වන සංඛ්‍යාවද වැඩි වේ.(Over Hang)

ඒ අනුව ඉහත උදාහරණයට අනූව, 

වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව =  57540
තෝරා පත් කර ගත යුතු සභික සංඛ්‍යාව =  26
තීරක අගය =  57540 / 26
  = 2213 

 

පක්ෂයේ නම

ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව

තීරක අගය

හිමිවිය යුතු මුළු සභික ධූර සංඛ්‍යාව

කොට්ඨාස පදනම යටතේ ලබාගත් සභික ධූර සංඛ්‍යාව

සමානුපාතික ලැයිස්තුව යටතේ හිමිවිය යුතු සභික ධූර සංඛ්‍යාව

මුළු සභික ධූර සංඛ්‍යාව

X

27938

2213

27938/2213

12.62

12යි

ඉතිරි 1382

13

13

00

13

Y

23274

2213

23274/2213

10.51

10යි

ඉතිරි 1144

10

03

07

10

Z

6327

2213

6327/2213

2.85

2යි

ඉතිරි 1901

03

00

03

03

* මෙම සමානුපාතික ලැයිස්තුව යටතේ හිමිවන සභික ධූර සඳහා එම ලැයිස්තුවෙන් මෙන්ම පරාජිත කොට්ඨාස වලින් ද සභිකයන් පත් කළ හැක.

 

IV. කාන්තා සභිකයන් තීරණය කිරීම

අදාල පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ තරඟ කරන ලද සියළුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතරින් මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 20% කට වඩා අඩුවෙන් ඡන්ද ලබාගත් සහ සභිකයන් තිදෙනෙකු හෝ ඊට අඩුවෙන් ලබා ගත් පක්ෂ වල ඡන්ද ප්‍රමාණයන් ඉවත් කොට ඉතුරු ඡන්ද ප්‍රමාණය අදාල පළාත් පාලන ආයතනය සඳහා තේරී පත් විය යුතු අවම කාන්තා මන්ත්‍රීධූර සංඛ්‍යාවෙන් (25% ක සභික සංඛ්‍යාවට සමාන සංඛ්‍යාවෙන්) බෙදීමෙන් පසු ලැබෙන අගයෙන්  එම ඡන්ද සංඛ්‍යාවට අදාල දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව බෙදීමෙන් එක් එක් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් පත් කළ යුතු කාන්තා සභික සංඛ්‍යාව තීරණය කරනු ලබයි.

උදා-: ඉහතින් සඳහන් කරන ලද A නම් ප්‍රාදේශීය සභාවට අදාලව ප්‍රකාශිත ප්‍රතිඵල අනුව එක් එක් පක්ෂ ලබාගත් ඡන්ද ප්‍රතිශතය සහ ආසන සංඛ්‍යාව පහත පරිදි වේ.

පක්ෂය

ලබා ගත් ඡන්ද සංඛ්‍යාව

මුළු වලංගු ඡන්ද සංඛ්‍යාව

ඡන්ද ප්‍රතිශතය

දිනාගත් මුළු ආසන සංඛ්‍යාව

X

27938

57540

48.55

13

Y

23274

57540

40.44

10

Z

6327

57540

10.99

03


ඒ අනුව කාන්තා නියෝජනය පිළිබඳව සලකා බැලීම සඳහා අදාල කර ගනු ලබන්නේ X සහ Y යන පක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය පමණි.

ඒ අනුව X සහ Y යන පක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයේ එකතුව (27938+23274)

= 51212

25% කට සමාන සභික සංඛ්‍යාව (26 / 4)   

= 6.5

තීරක අගය (51212 / 6.5)  

= 7878.76

X පක්ෂය පත් කළ යුතු කාන්තා මන්ත්‍රී ධූර සංඛ්‍යාව (27938 / 7878.76)

=

3.5

3කි (දශම ස්ථාන නොසලකා පූර්ණ සංඛ්‍යාව  සැලකීමෙන්)

Y පක්ෂය පත් කළ යුතු කාන්තා මන්ත්‍රී ධූර සංඛ්‍යාව (23274 / 7878.76)

=

2.95

2කි (දශම ස්ථාන නොසලකා පූර්ණ සංඛ්‍යාව ගැනීමෙන්)

 

සභාපති / උප සභාපති හා නගරාධිපති / නියෝජ්‍ය නගරාධිපති තෝරා ගනු ලබන ආකාරය

යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් අදාල පළාත් පාලන ආයතනයේ මුළු සභික සංඛ්‍යාවෙන් 50% කට වඩා ලබාගෙන ඇත්නම් එම දේශපාලන පක්ෂයේ ලේකම්වරයාට හෝ අදාල ස්වාධීන කණ්ඩායමේ නායකයාට මෙම ධූරයන් සඳහා පත්කිරීම් සිදුකළ හැකිය.

කිසිඳු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් 50%කට වඩා වැඩි සභික සංඛ්‍යාවක් ලබාගෙන නොමැති අවස්ථාවක එම පළාත් පාලන ආයතනයේ මංගල සභා වාරයේදී සභිකයන්ගේ ඡන්දයෙන් ධූරයන් සඳහා පත් කිරීම් කළ හැකිය.

 

සභිකයකු මිය යාමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ වෙනත් ආකාරයකින් පුරප්පාඩුවක් ඇති වූ විට එම පුරප්පාඩුව සම්පූර්ණ කරන්නේ කෙසේද?

මේ සඳහා පැරණි ක්‍රමයේදී මෙන් අතුරු මැතිවරණ පැවැත්වීමක් සිදු නොකරන අතර පුරප්පාඩුව සඳහා කෙනෙකු නම් කිරීමට පුරප්පාඩුව ඇතිවූ පක්ෂයේ පක්ෂ ලේකම්ට බලය ඇත.