මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
IMG-LOGO
නවතම තොරතුරු: පාර්ලිමේන්තු මැතිවරණය - 2020.08.05 පාර්ලිමේන්තු මැතිවරණය - 2020.08.05 පාර්ලිමේන්තු මැතිවරණය - 2020.08.05

සර්වජන ඡන්ද බලය හා ඡන්ද විමසීම

රටක සුදුසුකම් සැපිරූ සියලු පුරවැසියන්ට, ජාතිය, ආගම, භාෂාව, වර්ගය, කුලය, අධ්‍යාපනය, දේපළ හිමිකම , උපත, උපන් ස්ථානය, ස්ත්‍රී පුරුෂ භාවය ආදී කිසිඳු වෙනස්කමකින් තොරව පාලන බලයට හවුල්වීමේ අයිතිය හා/හෝ තමන්ගේ නියෝජිතයින් පත්කර ගැනීමට ඇති අයිතියයි. එනම්, සර්වජන ඡන්ද බලය මගින් සිදුවන්නේ, පරමාධිපත්‍ය බලය ජනතාව සතු වීමයි. තවත් විදිහකට කීවොත් තමන් පිළිබඳව හා රට පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය රටවැසියා සතුවීමයි. රාජාණ්ඩු ක්‍රම වලදී මෙම කරුණු පිළිබඳ ප්‍රධාන තීරකයා රජු විය. රාජාණ්ඩු ක්‍රමය වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රම පදනම් වූ ජනරජ බිහිවීමට මූලික පදනම වූයේ සර්වජන ඡන්ද බලයයි. ජනතාව රාජ්‍ය පාලනයට සම්බන්ධ වන්නේ සර්වජන ඡන්ද බලය මගිනි.

1931 වර්ෂයේදී ය . ඒ ඩොනමෝර් කොමිෂමේ යෝජනා අනුවයි.
නවීන ලෝකයේ රටවල පාලන ක්‍රම අතර, බහුතරයක් රටවල් හොඳම පාලන ක්‍රමය ලෙස සළකන්නේ "ප්‍රජාතන්ත්‍රවාදී" පාලන ක්‍රමයයි. මහජන නියෝජිතයින් ජනතා ඡන්දයෙන් තෝරා ගැනීමත්, ඒ අනුව රටවැසියනට රටේ පාලනයට සුදුසු යයි සලකන නියෝජිතයන් හා ආණ්ඩු තෝරා පත්කර ගැනීමටත් තමන් අකමැති ආණ්ඩු වෙනස් කිරීමටත් බලය ලැබෙන්නේ මෙම සර්වජන ඡන්දය මගිනි. මේ නිසා දේශපාලනඥයන්ට ජනතාව මත යැපීමට සිදුවී ඇත. ආණ්ඩු කරන්නන් රටේ භාරකරුවන් වන අතර, රටක අයිතිකරුවන් වන්නේ මහජනතාවය. මහජනතාවගේ අදහස්වලට, කැමැත්තට විරුද්ධව ක්‍රියා කිරීමට ආණ්ඩුවලට හැකියාවක් නොමැති අතර, එවිට ඔවුන් ඉවත් කිරීමේ බලය, සර්වජන ඡන්දය මගින් ජනතාව සතුවේ.
1931 දී ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියනට අවු.21 සම්පූර්ණ කළ විට, වෙනත් විශේෂ නුසුදුසු කමකට යටත් නොවේ නම්, සර්වජන ඡන්ද බලය හිමිවිය. 1959 අංක 11 දරන මැතිවරණ සංශෝධන පනත මගින් සර්වජන ඡන්ද බලය සඳහා හිමිකම් ලබන වයස අවු.21 සිට අවු.18 දක්වා අඩුකර ඇත. 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, සර්වජන ඡන්ද බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලැබෙන හා සහතික කර ඇති බලයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 03 ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්නේ "පරමාධිපත්‍යය" ජනතාව සතු බවත්, එය අන්සතු කළ නොහැකි බවත්, පැවරිය නොහැකි බවත්ය. එහිම "පරමාධිපත්‍යය" යන්නට පාලන බලතල, මූලික අයිතිවාසිකම් හා ඡන්ද බලය ඇතුළත් වන බව එම ව්‍යවස්ථාව තුළම සඳහන්ව ඇත. මේ අනුව ඡන්ද බලය ජනතා පරමාධිපත්‍යයේ කොටසකි. එසේම ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව තෝරා පත්කර ගන්නා පාර්ලිමේන්තුව විසින්ද, ජනමත විචාරණයක දී ඍජුවම ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුතු වේ. රටේ ආරක්ෂාව ඇතුළු විධායක බලය, ජනතාව තෝරා පත්කර ගන්නා ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුතු අතර, අධිකරණ බලය, අධිකරණ හරහා පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කළ යුතුය. මෙයින් පෙන්නුම් කරන්නේ රටේ මුළු පාලන බලය, නීතී පැනවීම, විධායකය, අධිකරණය ක්‍රියාත්මක කළ හැකි වන්නේ ඡන්ද බලය හරහා ජනතාවට බවය. සමස්ත බල ව්‍යුහයම සර්වජන ඡන්ද බලය මත පවතින බවය.
ඡන්ද බලය ක්‍රියාත්මක වීමේ යාන්ත්‍රණය වන්නේ මැතිවරණයයි. අපේ රටේ ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණ හා පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් පත්කර ගැනීම හා අවශ්‍ය වූ විට ජනමත විචාරණ පැවැත්වීම සිදුවේ. එම මැතිවරණ පැවැත්වීමේ බලධාරි ආයතනය වන්නේ මැතිවරණ කොමිෂන් සභාවයි. මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය මුලික නීතිමය අවශ්‍යතා රජය විසින් සම්පූර්ණ කළයුතු වෙයි. මෙම ක්‍රමය "නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී" ක්‍රමය වශයෙන් හැඳින්වේ. මැතිවරණ හරහා ජනතාව විසින් තම නියෝජිතයන් පත් කර ගෙන ඔවුන් මගින් පාලනය කිරීම මෙම ක්‍රමය තුළ සිදුවෙයි.
ඡන්දයේ රහස්‍ය බව ආරක්ෂා වීම, පුද්ගල ඡන්දය (කැමැත්ත) වෙනත් විවිධ ක්‍රම මගින් වෙනස් වීමට හෝ විකෘති වීමට ඉඩ නො තැබීම, දේශපාලන පක්ෂ වල පැවැත්ම, මාධ්‍ය නිදහස, සියලු දෙනාට සමාන ඉඩ ප්‍රස්ථා පැවතීම හා වෙනස්කම්වලට භාජනය නොවීම හා නීතියේ ආධිපත්‍යය, හා ස්වාධීන අධිකරණ ක්‍රියාවලිය මේ සඳහා අවශ්‍ය වේ.
මැතිවරණ පැවැත්විය යුතු දින වකවානු ඒ ඒ මැතිවරණ පනත්වල සඳහන් වේ. එම දිනවලට අනුකූලව නිශ්චිත දිනවල නාම යෝජනා කැඳවා, විරෝධතා පරික්ෂා කර ඡන්දය ප්‍රකාශ කිරිම දක්වා හා ඡන්ද ගණන් කොට ප්‍රතිඵල ප්‍රකාශ කිරීම දක්වා කාලය මැතිවරණ කාලය ලෙස සැලකේ. 1947ට පෙර ඡන්දය භාවිතා කළේ අපේක්ෂකයාට හිමි ඡන්ද පත්‍රිකා වර්ණය තෝරා එම අපේක්ෂකයාගේ වර්ණයට හිමි ඡන්ද පෙට්ටියට ඡන්ද පත්‍රිකාව බහාලීම මගිනි. 1947 සිට පක්ෂවලට හා ස්වාධීන අපේක්ෂකයන්ට ඡන්ද සලකුණු ලබාදීම ආරම්භ කළ අතර, 1947 දී ඡන්ද සලකුණු 24 ක් ලබා දී තිබේ. දැන් ඡන්දය ප්‍රකාශ කරන්නේ සලකුණු අනුවයි. 1947 දී ඡන්දය දින 19 ක කාලයක් පැවති අතර, දැනට රටපුරා එක් දිනක දී ඡන්ද විමසීම සිදු කෙරේ. 1978 දක්වා බහුතර ඡන්ද ප්‍රමාණය ලබාගත් අය තෝරා ගැනීමේ කේවල ඡන්ද ක්‍රමය පැවති අතර, 1978 න් පසු සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක වෙයි. දිස්ත්‍රික් අනුව ඒ ඒ පක්ෂයට හෝ ස්වාධීන අපේක්ෂකයන්ට ලැබෙන ඡන්ද සංඛ්‍යාව අනුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධූර සංඛ්‍යාව අනුපාතිකව තෝරා ගැනීම සමානුපාතික ක්‍රමය වේ. ඡන්දය ප්‍රකාශ කිරීමට, ඡන්දහිමි නාමලේඛනයේ නම සඳහන්ව තිබීම අත්‍යවශ්‍ය හා ප්‍රධාන කාරණයක් වෙයි.
මැතිවරණ පැවැත්වීම සම්බන්ධව පූර්ණ බලධාරියා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර මැතිවරණ කොමසාරිස්වරයාට එම බලතල හිමිවිය. 1959 අංක 11 ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත මගින් මැතිවරණ කොමසාරිස්වරයා විගණකාධිපතිවරයා හා සමාන වූද ආණ්ඩුවක බලපෑමෙන් තොර වූද ස්වාධීන බලතල සහිත තනතුරක් බවට පත් කළ අතර, 1964 අංක 08 දරන ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත මගින් මැතිවරණ කොමසාරිස්වරයා පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයකින් මිස ඉවත් කළ නොහැකි පරිදි ස්වාධීනත්වය සහතික කරන ලදි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පත්කර ඇති මැතිවරණ කොමිෂන් සභාවට එවැනි හා එයටද එහාගිය ස්වාධීනතාවයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර දී ඇත. මැතිවරණ පැවැත්වීමේ "වගකීම" සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවට වගකිව යුතු අතර, ඔවුන්ගේ "වගකීම" පවතින්නේ මහජනතාව වෙතයි.