මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
IMG-LOGO

මා ඡන්ද දායකයකු වශයෙන් ලියාපදිංචි වන්නේ කෙසේද?

ඡන්දහිමි නාම ලේඛනයේ ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වී ඇති සෑම පුද්ගලයෙක්ම ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා ඡන්ද විමසීම්, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ වලදී ඡන්දය දීමට සුදුසුකම් ලබයි. මේ අනුව ජනතා පරමාධිපත්‍ය යටතේ ගැනෙන ඡන්ද බලය සෑම පුරවැසියෙකුම සතු වූවත්, එය ක්‍රියාත්මක කළ හැක්කේ ඔහුගේ නම ඡන්දහිමි නාමලේඛනයේ ඇතුළත්ව ඇත්නම් පමණකි.

ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම හා පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමට අදාළව නීති සම්පාදනය කරමින් 1946 ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ්‍යසභා ආඥාව 1946 සැප්තැම්බර් මස 26 දින බලාත්මක කරන ලදී. ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ මූලික සුදුසුකම් 1946 ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ්‍යසභා ආඥාවේ 4 වැනි වගන්තිය යටතේ දක්වා ඇත. ජුනි මස 01 දිනට වයස අවුරුදු 21 ට වැඩිවීම හැර අනෙකුත් සුදුසුකම් වර්තමානයේ බලපවත්නා පරිදිම විය. මුල් අවධියේ දී ඡන්දහිමියන් ලියාපදිංචි කිරීම සඳහා එක් එක් මැතිවරණ කොට්ඨාස සඳහා ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා විසින් නම් වශයෙන් හෝ නිල වශයෙන් ලියාපදිංචි කිරීමේ නිලධාරී සහ ප්‍රතිශෝධනය කිරීමේ නිලධාරීන් පත්කරන ලද අතර, ඔවුන්ට සහායට කලින් කල එක් තැනැත්තෙකු හෝ ඊට වැඩි ගණනක් නමින් හෝ නිලයෙන් පත් කරන ලදී.

1954 වර්ෂයේ දී ප්‍රථමවරට වරිපනම් අංක හෝ ආහාර පාලන අංක පදනම් කරගෙන ඡන්ද හිමියන් ගණන් ගැනීම සිදුකළ අතර එක් එක් ගෙයක් සඳහා වෙන වෙනම ආකෘතියක් හෝ ආකෘති කිහිපයක් භාවිතා කරන ලදී. 1957 වර්ෂයේ දී නාගරික ප්‍රදේශවල ගණන් ගැනීම සඳහා ආකෘතියක් හඳුන්වා දී ඇති අතර, එහි ගෘහ මූලික අත්සන තැබීම ද ඇතුළත් කර ඇත.

1959 වර්ෂය ඡන්දහිමියන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් වැදගත් වෙනසක් සිදු වූ වර්ෂය යි. 1959 අංක 11 දරන සංශෝධන පනතට අනුව එතෙක් වයස අවුරුදු 21 ක් වූ ඡන්දහිමියකු වීමට සුදුසුකම අවුරුදු 18 දක්වා අඩු කරන ලදී.

1959 මැයි මස සහතික කරන ලද නාමලේඛනයේ සිට නාමලේඛන ගෘහ අංක පිළිවෙලට සැකසීම ආරම්භ කරන ලදී. ඒ වන විට එම ක්‍රමය කොළඹ හා මහනුවර නගර සභා ප්‍රදේශවල ක්‍රියාත්මක වූ අතර, අනෙක් ප්‍රදේශවල ඡන්දදායකයන්ගේ නම් අකාරාදී ක්‍රමයට ගලපා ඒ අනුව නාමලේඛනය සකස් කරන ලදී.

ඡන්දහිමියන් ගණන් ගැනීමේ කටයුතු 1962 වසර දක්වාම ගම්පතීන් හා නාගරික ප්‍රදේශවල විශේෂ ගණන් ගන්නා නිලධාරීන් මගින් සිදු කළ අතර, 1963 දී ග්‍රාමසේවක සේවය ස්ථාපනය කිරීමෙන් පසු ග්‍රාම සේවකයන් (ග්‍රාම නිලධාරි සේවය එකල හැදින්වූයේ එසේ ය.) විසින් සිදු කරන ලදී.

1967 ප්‍රතිශෝධනයේ දී විශේෂත්වයක් වූයේ නගරබද මෙන්ම ගම්බද ප්‍රදේශවල ඡන්දදායකයන් ගණන් ගැනීම සඳහා පළමුවරට විශේෂ ආකෘතිපත් හඳුන්වා දීමයි. ගෘහමූලික අදාළ විස්තර සපයා අත්සන් කිරීමත් ගණන් ගන්නා නිලධාරී ඒවා පරීක්ෂා කර බලා නිර්දේශ කර, සටහන් තබා, අත්සන් කිරීමත් ඊට ඇතුළත් විය. මෙම ආකෘතිය "Body Count"යන ඉංග්‍රීසි වචනවල මුල් අක්ෂර දෙක යොදා බී.සී. ආකෘති පත්‍රය (B.C. Form) ලෙස හඳුන්වා දෙන ලදී.

වතු ප්‍රදේශවල ඡන්දහිමියන් ගණන් ගැනීම වතු අධිකාරීවරුන් විසින් සිදුකළ අතර, 1969 වසරේ දී ප්‍රථම වරට ඒවා ග්‍රාම සේවකවරුන් මගින් පරීක්ෂා කරන ලද අතර, 1980 ප්‍රතිශෝධනයේ සිට වතු ප්‍රදේශවල ගණන් ගැනීම ද ග්‍රාම සේවකවරුන් (ග්‍රාම නිලධාරි තනතුර එකල හැඳින්වූයේ එසේ ය.) විසින් කරන ලදී.

1969 වසර දක්වාම ඉංග්‍රීසි බසින් සකස් කරන ලද ඡන්ද හිමි නාමලේඛනය 1970 වසරේ සිට සිංහල හා දෙමළ භාෂා වලින් සැකසීම ආරම්භ කරන ලදී.

1981 වර්ෂයේ සිට සියලුම දේශපාලන පක්ෂ වලට ඡන්ද කොට්ඨාස මට්ටමින් ඡන්ද හිමියන් ගණන් ගැනීම නිරීක්ෂණය කිරීම සඳහා නියෝජිතයින් පත් කිරීමට අවස්ථාව සලසන ලදී.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 101 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සැලැස්වීමට 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත හඳුන්වා දෙන ලදී.

      1. ශ්‍රී ලාංකීය පුරවැසියෙකු වීම.

      2. අදාළ ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිවීම සඳහා සුදුසුකම් ලැබීමේ දිනය වන ජුනි මස 01 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබීම.

      3. අදාළ ලිපිනයේ සාමාන්‍ය පදිංචිකරුවෙකු වීම.

      4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවේ සඳහන් යම් නුසුදුසුතාවයකට ජුනි මස 01 දින වන විට ලක් නොවී ඇති අයෙකු වීම. (බල පවත්නා යම් නීතියක් යටතේ සිහිවිකල් තැනැත්තෙකු නොවීම, ගත වූ වසර හතක කාලය තුළ අධිකරණ ක්‍රියාමාර්ග අනුව දඬුවම් ලබා බන්ධනාගාර ගතව මාස 6ක් හෝ ඊට වැඩි කාලයක දඬුවමක් විඳින හෝ විඳ සිටි තැනැත්තෙකු නොවීම, මැතිවරණ වලට අදාළ වරදකට වරදකරුවෙකු නොවීම වැනි)