මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
IMG-LOGO

නිතර අසන ප්‍රශ්න: ඡන්ද විමසීම් සම්බන්ධයෙන්

පිළිතුර

දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ/ ඡන්ද විමසීම් 5ක් පවත්වනු ලබයි. ඒවා නම්,

 

ජනාධිපතිවරණය :-


(i)  ජනාධිපතිගේ නිල කාලය, එනම් අවුරුදු 5ක් සම්පූර්ණ වීමට මාසයකට අඩු නොවන හා මාස දෙකකට වැඩි නොවන කාලය තුළ

(ii) ජනාධිපතිගේ නිල කාලය අවුරුදු 4ක් ගෙවුනු පසු, ජනාධිපතිවරයා විසින් නැවත ධූර කාලයක් සඳහා ජනතා වරමක් ඉල්ලා සිටීමට තීරණය කළ පසු

 

පාර්ලිමේන්තු මහ මැතිවරණය :-

(i) පාර්ලිමේන්තුවේ නිල කාලය වූ අවු: 5 ගෙවුනු පසු හෝ

(ii) පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමේ සිට වසර 04යි මාස 06ක් දක්වා වූ කාලසීමාවකින් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත්

 

පළාත් සභා ඡන්ද විමසීම් :-

(i)  පළාත් සභා වල නිල කාලය වන අවුරුදු 5  අවසන් වූ විට හෝ

(ii) පළාත් ආණ්ඩුකාරවරයා විසින් සභාව විසිරුවා හැරි විට

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් :-

(i)  නිල කාලය අවුරුදු 4ක් වන අතර එම කාලය අවසන් වූ පසු හෝ

(ii) පළාත් පාලන ඇමතිවරයා විසින් ඊට පෙර සභාවක් විසිරුවා හැරි විට

 

ජනමත විචාරණ :-

ජනාධිපතිවරයා විසින් යම් කරුණක් ගැන ජනමතය විමසා බලන ලෙස නියමයක් කළ විට

ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සුදුසුකම්:-

  1. 1. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම
  2. 2. වයස අවුරුදු 35ට වැඩිවීම.
  3. 3. ඡන්ද බලය හිමි තැනැත්තෙකු වීම එනම් ඡන්ද හිමියෙකු වීමට සුදුසුකම් ලබා ඇති තැනැත්තෙකු වීම.
  4. 4. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවේ නුසුදුසුකමකට යටත් නොවීම. (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව)
  5. 5. පිළිගත් දේශපාලන පක්ෂයකින් නම් සුදුසුකම් ලබා ඇති කවර හෝ පුරවැසියකු වීම, වෙනත් දේශපාලන පක්ෂයක් හෝ ඡන්ද හිමියකු විසින් නාමයෝජනා කරන තැනැත්තෙකු නම්, පාර්ලිමේන්තුවේ සිටින හෝ සිටි මන්ත්‍රීවරයකු වීම.
  6. 6. ජනාධිපති ධූරය සඳහා ජනතාව විසින් දෙවරක් තෝරා පත්කරගත් අයෙකු නොවීම.

 

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට නුසුදුසුකම්:-

  1. 1. ඉහත සුදුසුකම් නොමැති වීම.
  2. 2. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවේ නුසුදුසුකමකට යටත්වීම (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව)
  3. 3. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 ව්‍යවස්ථාව ප්‍රකාර නුසුදුසුකමකට ලක්වීම. (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව)

ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේදී නාමයෝජනා භාරදෙන අවස්ථාවේදී එවකට මැතිවරණ කොමසාරිස්වරයා (දැන් මැතිවරණ කොමිෂන් සභාව) විසින් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ යුතු අවස්ථා 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනතේ 15 වන වගන්තිය යටතේ දක්වා ඇත (1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත)

පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට සුදුසුකම්:-

  1. 1. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම
  2. 2. වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම.
  3. 3. ඡන්ද බලය හිමි තැනැත්තෙකු වීම එනම් ඡන්ද හිමියෙකු වීමට සුදුසුකම් ලබා ඇති තැනැත්තෙකු වීම.
  4. 4. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවේ නුසුදුසුකමකට යටත් නොවීම. (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව)
  5. 5. 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ නුසුදුසු කම් වලට යටත් නොවීම. (අදාළ නුසුදුසුකම් පහත දක්වා ඇත)

 

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් බලපවත්නා නුසුදුසුකම්:-

  1. 1. ඡන්ද පත්‍රිකා සම්බන්ධ වැරදි යටතේ ඇති වරදකට (පනතේ 66 අ - ජ දක්වා උප වගන්ති) වරදකරු කරනු ලැබූ දින සිට වසර 07ක කාලයක් ගතවන තෙක්
  2. 2. හොර ඡන්ද දැමීම, සංග්‍රහ කිරීම, අයුතු බලපෑම, අල්ලස් දීම, අපේක්ෂකයෙකුගේ පෞද්ගලික චරිතය සම්බන්ධව අසත්‍ය ප්‍රකාශයක් කිරීම යනාදී වැරදි සම්බන්ධයෙන් අධිකරණය විසින් වරදකරු කරනු ලැබූ තැනැත්තෙකුට වරදකරු කරනු ලැබූ දින සිට වසර 7ක් ගතවී නොතිබීම
  3. 3. පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් නීති විරෝධී ක්‍රියාවකට වරදකරු කරනු ලැබූ තැනැත්තෙකු වරදකරු කරනු ලැබූ දින සිට වසර 03ක් ගතවී නොතිබීම

පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාරදෙන අවස්ථාවේ තේරීම්භාර නිලධාරියා විසින් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ යුතු අවස්ථා 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 19 වන වගන්තිය යටතේ දක්වා ඇත. (1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත)

පළාත් සභා මන්ත්‍රීධූර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සුදුසුකම්:-

  1. 1. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම
  2. 2. වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම.
  3. 3. ඡන්ද බලය හිමි තැනැත්තෙකු වීම එනම් ඡන්ද හිමියෙකු වීමට සුදුසුකම් ලබා ඇති තැනැත්තෙකු වීම
  4. 4. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවේ (ඇ), (ඈ), (ඉ), (ඊ) සහ (උ) යන උප ව්‍යවස්ථා වල සඳහන් නුසුදුසුකමකට යටත් නොවීම. (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව)
  5. 5. 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත යටතේ නුසුදුසුකමකට යටත් නොවීම. (අදාළ නුසුදුසුකම් පහත දක්වා ඇත)

 

1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත යටතේ පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් බල පවත්නා නුසුදුසුකම්:-

  1. 1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නම්කර ඇති නුසුදුසුකම්
  2. 2. ඡන්ද පත්‍රිකා සම්බන්ධ වරදකට (පනත් 66 අ - ජ දක්වා උප වගන්ති) වරදකරු කරනු ලැබූ දින සිට වසර 07ක කාලයක් ගතවී නොතිබීම
  3. 3. 1978 අංක 38 දරන පළාත් පාලන ආයතන (ප්‍රජා අශක්නුතා නියම කිරීමේ, අංක 01) පනත හෝ 1978 අංක 39 දරන පළාත් පාලන ආයතන (ප්‍රජා අශක්නුතා නියම කිරීමේ, අංක 02) පනත යටතේ නුසුදුසුකමකට යටත්වන තැනැත්තෙකු එම නුසුදුසුකම් පවතින තාක් කල්
  4. 4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 81 වගන්තිය ප්‍රකාර ප්‍රජා අශක්නුතාවයකට යටත් කර ඇති අවස්ථාවක එම කාල සීමාව ඉක්මවා නොතිබීම
  5. 5. ඡන්දයේ රහස්‍යභාවය රැකීම (77 වගන්තිය)  උල්ලංගනය කිරීම සම්බන්ධ වරදකට වරදකරු කරනු ලැබූ දින සිට වසර 07ක කාලයක් ගතවී නොතිබීම.
  6. 6. හොර ඡන්ද දැමීම, සංග්‍රහ කිරීම, අයුතු බලපෑම්, අල්ලස් දීම් වැනි දූෂිත ක්‍රියාවකට (78 - 82 වගන්ති) වරදකරු කරනු ලැබූ තැනැත්තෙකුට එම වරදකරු කරනු ලැබූ දින සිට වසර 03 කාලයක් ඉකුත් වී නොතිබීම
  7. 7. අසත්‍ය ප්‍රකාශ (85 වගන්තිය) ප්‍රවෘත්ති පත්‍රවල පළ කිරීම, නීති විරෝධී සේවා නියුක්තිය, ප්‍රකාශකගේ නම, මුද්‍රණකරු මුහුණ හෝ නොදැක්වෙන ප්‍රචාරක දැන්වීම් ආදිය සම්බන්ධව නීති විරෝධී ක්‍රියාවකට වරදකරු කරනු ලැබුවහොත් වරදකරු කළ දින සිට වසර 03 ක කාලයක් ඉකුත් වන තෙක්

පළාත් සභා මන්ත්‍රී ධූරය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාරදෙන අවස්ථාවේ තේරීම්භාර නිලධාරියා විසින් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කළ යුතු අවස්ථා 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 17 වන වගන්තිය යටතේ දක්වා ඇත. (1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත)

පළාත් පාලන ආයතන සභිකයෙකු ලෙස ඉදිරිපත් වීමට සුදුසුකම්:-

  1. 1. ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම
  2. 2. වයස අවුරුදු 18 සම්පූර්ණ වී තිබීම.
  3. 3. ඡන්ද බලය හිමි තැනැත්තෙකු වීම. එනම් ඡන්ද හිමියෙකු වීමට සුදුසුකම් ලබා ඇති තැනැත්තෙකු වීම
  4. 4. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවේ (ඇ), (ඈ), (ඉ), (ඊ) සහ (උ) යන උප ව්‍යවස්ථා වල සඳහන් නුසුදුසුකමකට යටත් නොවීම. (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව)
  5. 5. අදාළ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වීම.
  6. 6. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ (262 අධිකාරය) නුසුදුසුකමකට යටත් නොවීම.

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (262 අධිකාරය) (සංශෝධිත)  යටතේ පළාත් පාලන ආයතනයකට සභිකයෙකු ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් බලපවත්නා නුසුදුසුකම්:-

  1. 1. අදාළ පළාත් පාලන ආයතනයේ සේවකයෙකු වී සිටීම හෝ නාමයෝජනා භාරගැනීම ආරම්භවන දිනට වසරකට පූර්වයෙන් එයින් ඉවත් වී නොතිබීම.
  2. 2. හොර ඡන්ද දැමීම, සංග්‍රහ කිරීම, අයුතු බලපෑම, අල්ලස, අපේක්ෂකයෙකුගේ පෞද්ගලික චරිතය හා හැසිරීම ගැන අසත්‍ය ප්‍රකාශ කිරීම වැනි දූෂිත ක්‍රියාවකට (82 අ - ක දක්වා උප වගන්ති) වරදකරු කරනු ලැබ, එකී වරදකරු කරනු ලැබු දින සිට වසර හතක කාලයක් ගතවී නොතිබීම (ඡන්ද විමසීමකට අදාළව ඡන්ද හිමියෙකු වීමටද නොහැක)
  3. 3. මැතිවරණ නීතියට පටහැනි ගිවිසුම් ඇතිකර ගැනීම, ප්‍රවෘත්ති පත්‍රයක හෝ විද්‍යුත් මාධ්‍යයක් ඔස්සේ අසත්‍ය ප්‍රකාශ පළ කිරීම හෝ විකාශනය කිරීම, මැතිවරණ නීතියට පටහැනි සේවා නියුක්තීන් කිරීම වැනි නීති විරෝධී ක්‍රියාවකට වරදකරු කරනු ලැබූ, එම වරදකරු කළ දින සිට වසර තුනක කාලයක් ගතවී නොතිබීම
  4. 4. ඡන්දයේ රහස්‍ය භාවයේ විධිවිධාන කඩ කිරීම (77 වගන්තිය) නාම යෝජනා පත්‍ර හා ඡන්ද පත්‍රිකා සම්බන්ධ වැරදි (78 වගන්තිය) ඡන්ද විමසන දිනයේ තහනම් ක්‍රියාවක් කිරීම (81 අ වගන්තිය), ඡන්ද විමසීම් කාල සීමාවකදී අත් පත්‍රිකා, දැන්වීම් කොළ ආදිය ප්‍රදර්ශනය කිරීම ආදී වැරදි (81 ආ වගන්තිය) බහු ඡන්දය දීම (82 වගන්තිය), හොර ඡන්ද දැමීම (82 ඇ වගන්තිය), සංග්‍රහ කිරීම (82 ආ වගන්තිය), අයුතු බලපෑම (82 උ), ප්‍රවෘත්ති පත්‍රවල, විද්‍යුත් මාධ්‍යවල අසත්‍ය ප්‍රකාශ පළ කිරීම (82 ඌ), නීති විරෝධි සේවා නියුක්තියන් (82 එ), මුද්‍රණකරු, ප්‍රකාශකගේ නම මුහුණත නොමැති ප්‍රකාශන මුද්‍රණය කිරීම, බෙදා හැරීම, ඇලවීම (82 ඒ), වරදකරු වන තැනැත්තෙකු එම වරදට අදාළ දඩුවමකට අතිරේකව වරදකරු කරනු ලැබූ දින සිට වසර පහක කාලයක් ගතවී නොතිබීම (82 ක වගන්තිය)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාරදෙන අවස්ථාවේ තේරීම්භාර නිලධාරියා විසින් නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කල යුතු අවස්ථා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 262වන අධිකාරය (සංශෝධිත) 31 වන වගන්තිය යටතේ දක්වා ඇත. (262 වන අධිකාරය)

රජයේ සේවකයා මාණ්ඩලික නිලධාරියකු නම් නාම යෝජනා භාර දීමට පෙර සේවයෙන් ඉල්ලා අස් විය යුතු අතර මාණ්ඩලික නොවන අයකු නම් නාම යෝජනා කාල සීමාවේ සිට මැතිවරණය අවසන් වන තෙක් වැටුප් රහිත නිවාඩු ලබා ගත යුතුය.

එක් එක් ඡන්ද පනත් වල සඳහන් ආකාරයට, ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ කාර්ය මණ්ඩලය, ඡන්ද විමසීමේ කටයුතු සඳහා යොදාගන්නා රජයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවකයන්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවකයන් සහ අත්‍යාවශ්‍ය සේවාවන් වල නිරත අය

ඡන්දපොළ ඇතුළටම යාමට නොහැකිය. තමාගේ හෝ කුලියට ගත් වාහනයක යන්නේ නම්, ඡන්ද මධ්‍යස්ථානයට කි.මී. 1/2 දුරින් එය නවතා පා ගමනින් යා යුතුය. ඒ නිසා පොදු ගමනාගමන සේවා (බස් සහ දුම්රිය) මඟින් යා යුතුය. නමුත් ආබාධිත පුද්ගලයන්ට ඡන්ද විමසීම් දිනට දින 7කට පෙර තේරීම්භාර නිලධාරීට ඉල්ලීමක් ඉදිරිපත් කර, බලපත්‍රයක් ලබාගෙන , ඡන්ද පොළට වාහන වලින් යා හැකිය.

තමාගේ අනන්‍යතාවය සනාථ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ කොමසාරිස් විසින් අනුමත කරන ලද අනන්‍යතා ලේඛන වන

වලංගු විදේශ ගමන් බලපත්‍රය,

වලංගු රියදුරු බලපත්‍රය,

වැඩිහිටි හැඳුනුම්පත,

විශ්‍රාමික හැඳුනුම්පත,

පූජ්‍ය පක්ෂයට අදාළ හැඳුනුම්පත 

මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි මගින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

යන මේවා අතරින් එක් ලේඛනයක් අනිවාර්යයෙන් ගෙන යා යුතුය. තවද, තමාට තැපෑලෙන් ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත (Poll Card) ගෙන යෑම ඡන්ද දායකයාට මෙන්ම ඡන්ද පොළේ නිලධාරින්ට පහසුවක් වේ. එම නිසා එයද රැගෙන යන්න.

ඔව්. ඡන්ද පොළෙහි සිටින නිළධාරින් හතර දෙනෙකු විසින් පහත සඳහන් පරිදි කටයුතු කරනු ඇත.

  1. පළමුව සිටින නිලධාරියා විසින් ඡන්ද දායකයා සතුව ඇති හඳුනාගැනීමේ ලේඛනය (ජාතික හැඳුනුම්පත, වලංගු ගමන් බලපත්‍රය, වලංගු රියදුරු බලපත්‍රය, පූජ්‍ය/පූජක පක්ෂයේ හැඳුනුම්පත, රජයේ විශ්‍රාමිකයින්ගේ හැඳුනුම්පත හෝ වැඩිහිටි හැඳුනුම්පත හෝ ග්‍රාම නිලධාරි මගින් මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත) පරීක්ෂා කර බලා, එහි ඇති ඡායාරූපය සහ පුද්ගලයාගේ මුහුණ හා ස්වරූපය ගැලපේ නම් ඡන්දදායකයා දෙවැනි නිලධාරියා වෙත යොමු කරනු ඇත.
  2. දෙවැනි නිලධාරියා ඡන්ද දායකයා සතුව ඇති නිල ඡන්ද දැන්වීම් පත (OFFICIAL POLL CARD) ඉල්ලා ගෙන ඔහුගේ නම ඡන්ද ලැයිස්තුවේ සොයා ගෙන, ඔහුගේ නම විමසා, ඡන්ද දායකයාගේ නම සහ අනු අංකය හඬ නගා කියවනු ඇත. ඉන් පසු ප්‍රශ්නයක් මතු නොවුනහොත්, ඡන්ද දායකයා ඊළගට සිටින නිලධාරියා වෙත යොමු කරනු ඇත.
  3. තුන්වැනි නිලධාරියා ඡන්ද දායකයාගේ වම් අතේ සුළැගිල්ල පරීක්ෂා කර එම ඇඟිල්ල වටා තීන්ත  ආලේපනය කරනු ඇත. ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීමට එකඟ නොවුනහොත් එවැනි ඡන්ද දායකයෙකුට ඡන්දය භාවිතා කිරීමට නොහැකි වනු ඇත. තීන්ත ආලේපනයෙන් පසු ඊළඟට සිටින නිලධාරියා විසින් ඡන්ද පත්‍රිකාවක් ඡන්ද දායකයා අතට දෙනු ඇත.

එය රැගෙන ඡන්දය ලකුණු කිරීම සඳහා ඇති ආවරණය කළ කුටියට ගොස් ඡන්ද පත්‍රිකාවේ තමා කැමති පක්ෂයකට හෝ කණ්ඩායමකට ඡන්දය ලකුණු කර, ඡන්ද පත්‍රිකාවේ පහළ කොටසේ ඇති අපේක්ෂකයන්ගේ අංක වලින් හඳුන්වා දෙන නියමිත අපේක්ෂක සංඛ්‍යාවට හෝ ඊට අඩු ගණනකට මනාපය ලකුණු කර ඡන්ද පත්‍රිකාව හොදින් දෙකට නමා අවැසි නම් හතරටද නමා ගෙනවිත් ඡන්ද පෙට්ටියට දැමිය යුතුය.

ඡන්ද දායකයන්, නිලධාරින්, ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරින්, සහකාර තේරීම්භාර නිලධාරින්, ඡන්ද පොළ නියෝජිතයන් (Polling Agents)අනුමත නිරීක්ෂකයන්, අපේක්ෂකයින් සහ පළාත් සභා ඡන්ද විමසීමකදී පමණක් තරඟ කරන පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට

ඇස් පෙනෙන, ඡන්ද පත්‍රිකාව ලකුණු කිරීමට හැකියාවක් ඇති නමුත්, ඡන්දය ලකුණු කිරීමේ ආකාරය නොදන්නා කෙනෙකුට ඡන්ද පොළේ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හෝ ඔහු වෙනුවට වෙනත් නිලධාරියෙකු විසින් ඡන්ද පත්‍රිකාවක් ලකුණු කරන ආකාරය පමණක් විස්තර කර දෙනු ඇත. නමුත් දෘෂ්ඨි ආබාධයකින් හෝ ශාරීරික ආබාධයක් නිසා ඡන්ද පත්‍රිකා සියතින් ලකුණු කිරීමට නොහැකි අයට, තමාගේ සහාය සඳහා වෙනත් අයෙකු කැටුව ආ හැක. මෙවැනි ඡන්ද දායකයන් විසින් ග්‍රාම නිලධාරින්ගෙන් ලබා ගත්, රජයේ වෛද්‍ය නිලධාරියෙකු සහතික කළ සහතිකයක් රැගෙන ආ යුතුය. නියමිත පරිදි අනන්‍යතාව සනාථ කිරීමෙන් අනතුරුව ඡන්ද හිමියාගේ සහායකයාට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති හා මැතිවරණ කාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු ඉදිරිපිට ඡන්ද කුටිය තුලදී ඡන්දය සළකුණු කළ හැකිය. නමුත් දෘෂ්‍ය ආබාධිත ඡන්ද දායකයෙකු යමෙක් කැටුව නොආ විට, පනතේ සඳහන්ව නොමැති නමුත් මීට පෙර මැතිවරණ වලදී සිදුකළ පරිදි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති සහ තවත් නිලධාරියෙකු සමඟ ඡන්ද දායකයා කුටිය වෙත කැටුව ගොස් ඔහුගෙන් කරුණු විමසා ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා විසින් ඡන්ද දායකයා විසින් ඉල්ලන ආකාරයට අනෙක් නිලධරයා ඉදිරියේදීම ඡන්දය ලකුණු කළ හැකිය.

ඡන්ද විමසීමට අදාළ රාජකාරිවල නිරතවීම/ නිරත කරවීම සිදුවීම හේතු කොටගෙන ඡන්ද විමසීමේ දින පෞද්ගලිකව තමාට අයත් ඡන්ද පොළ වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි රජයේ නිලධාරින්/ සේවකයන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වලට අනුයුක්ත කර ඇති ඡන්ද විමසීම් රාජකාරිවල නිරතවන රජයේ නිලධාරින්, ඡන්ද විමසීම් කටයුතු සඳහා යොදවන එකී ආයතනවල රියදුරන් හා රිය සහායකයන්, මහජන ප්‍රවාහන කටයුතු වල නිරත වන ශ්‍රී ලංකා දුම්රිය සේවයේ, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ නියුතු තැනැත්තන්, ආරක්ෂක අංශවල හා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධරයන් සඳහා ඡන්ද පොළට නොගොස් ඡන්ද විමසීම් දිනට පෙර දිනයකදී තැපෑලෙන් සිය සහතික කිරීමේ නිලධාරියා මගින් ස්වකීය ඡන්ද පත්‍රිකාව ගෙන්වාගෙන ඡන්දය දීමට පහසුකම් සලසා දී තිබේ. එවැනි ඡන්ද දායකයන් තැපැල් ඡන්ද දායකයන් ලෙස හැඳින්වේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්ද විමසීම් දිනට සතියකටවත් පෙර ලැබෙන බැවින් එවැනි වෙනසක් ඇත්නම් වහාම අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දන්වා, අදාළ ලේඛන ඉදිරිපත් කොට නම/ හැඳුනුම්පත් අංක/ ස්ත්‍රී, පුරුෂ භාවය පිළිබඳ අදාළ නිවැරදි කිරීම් කරගැනීමට කටයුතු කරගත හැකිය. එසේ කරගත යුතුය.

 

කල්වේලා ඇතිව අවශ්‍ය සංශෝධන කර නොගත්තේ වුවද ඡන්ද විමසීමේ දින ඡන්ද පොළ නිලධාරින් මේ පිළිබඳව දැනුවත් කර ඡන්ද පත්‍රිකාවක් ලබාගත හැකිය. එහි දී ඔබගෙන් කරුණු විමසා බලනු ඇති අතර අවශ්‍ය වෙතොත් ප්‍රකාශ පත්‍රද සම්පූර්ණ කරන ලෙසටද ඔබට දන්වා සිටිනු ඇත.

 

මෙවැනි ඡන්ද හිමියන් ඡන්ද විමසීම් දිනයේ දී, කල්වේලා ඇතිව ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කිරීම වඩාත් සුදුසුය.

 

ඔබ සැබෑ ඡන්ද දායකයාමනම් හා ඔබගේ අනන්‍යතාව සහතික කර තිබියදීත් ඔබට ඡන්ද පත්‍රිකාවක් ලබාදීමට නොහැකි බව ඡන්ද පොළ භාර නිලධරයා, ප්‍රකාශ කරන්නේ නම් වහාම මැතිවරණ කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට හෝ ඡන්ද මධ්‍යස්ථානය අධීක්ෂණය කරන සහකාර තේරීම්භාර නිලධාරි හෝ ග්‍රාම නිලධාරි වෙත හෝ දන්වන්න.

 

මේ සියල්ල කළ හැක්කේ ඔබ කල්වේලා ඇතිව ඡන්ද පොළට ගියහොත් පමණි.

යම් ඡන්ද දායකයකු ඡන්ද පොළට ගොස් ඡන්ද පත්‍රිකාවක් ඉල්ලා සිටින විට දී ඡන්දහිමි නාමලේඛනයේ ඔහු/ඇය එදින ඡන්දය පාවිච්චි කර ඇති බව දැක්වීම සඳහා නම ඉදිරියෙන් කෙටි ඉරක් (-) ඇඳ ඇත්නම් එවැනි ඡන්ද දායකයන්ට සාමාන්‍ය ඡන්ද පත්‍රිකාවක් ලබාදීමට හැකියාවක් නැත. එවිට එම ඡන්ද දායකයාගේ අනන්‍යතාවය පරීක්ෂා කර බලා, ඔහු/ඇය ඡන්දය දී නැති බවට සෑහීමකට පත්විය හැකි නම් ප්‍රකාශ පත්‍රයක් ලබාගෙන ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති විසින් ඔහු/ඇය වෙත ඇති ලා නිල් පැහැති ඡන්ද පත්‍රිකා පොතෙන් ඡන්ද පත්‍රිකාවක් ලබාදෙනු ඇත. ද්විත්ව ඡන්ද පත්‍රිකා යනු එම ඡන්ද පත්‍රිකාව වන අතර ඡන්ද පොළ ලිපිකරුවන්ට එම ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමේ බලය නැත.

 

ද්විත්ව ඡන්ද පත්‍රිකා ගණන් කරන්නේ අධිකරණයේ නියමයක් කළහොත් පමණකි.

 

හැඳුනුම්පත් අනිවාර්ය කර ඇති බැවින් හා ඡන්ද පොළ නියෝජිතයන් බෙහෙවින් සුපරීක්ෂාකාරී නිසා හොර ඡන්ද දැමීම් වාර්තා නොවන හෙයින් දැන් ද්විත්ව ඡන්ද පත්‍රිකා ලබාදීමට අදාළ සිදුවීම් වාර්තා නොවන තරම්ය.

 

තමා විසින් තැපැල් ඡන්ද ඉල්ලා නොතිබිය දී ස්වකීය නම තැපැල් ඡන්ද ලේඛනයට ඇතුළත් වී ඇති ඡන්ද දායකයන්ට ද නිකුත් කරන්නේ ද්විත්ව ඡන්ද පත්‍රිකා පමණකි.

සෑම ඡන්ද හිමියකුටම ඡන්ද විමසීමට කල්වේලා ඇතිව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් තැපෑලෙන් යවනු ලැබේ. තැපැල් ඡන්දය ඉල්ලා ඇත්නම් හා තැපැල් ඡන්ද දායකයකු ලෙස පිළිගෙන ඇත්නම් ඒ බවට සටහනක් එම නිල ඡන්ද පත්‍රිකාවේ තබනු ලැබේ. එහෙයින් යම් ඡන්ද හිමියකු තැපැල් ඡන්දය ඉල්ලා නැත්නම් හා එවැනි සටහනක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ ඇත්නම් වහාම ස්වකීය ග්‍රාම නිලධාරි හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැන්වීම අත්‍යාවශ්‍යය. එවිට අවශ්‍ය පියවර ගනු ඇති අතර දැනුම් දීමට ප්‍රමාද වුවහොත් කිසිවක් කළ නොහැකිය.

එවැනි විටක දී තමා තැපැල් ඡන්දය සඳහා අයදුම් කර නොමැත්තේ නම්, තැපැල් ඡන්ද හිමියන් සඳහා වූ විශේෂ නාමලේඛනය පරීක්ෂා කරන ලෙස‍ට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය යුතු අතර එම ලේඛනයේ නම සඳහන්ව නැතිනම් ඡන්දය පාවිච්චි කළ හැකිය.

 

එහිදී එම විශේෂ (තැපැල් ඡන්ද) නාමලේඛනයේ නම සඳහන්ව ඇතිනම්, ඡන්දය පාවිච්චි කළ අයකු සේ සැලකීමට සිදුවන නිසා අදාළ ඡන්ද දායකයාට ලබාගත හැක්කේ ද්විත්ව ඡන්ද පත්‍රිකාවක් පමණි.  එනම් ලා නිල් පැහැති විශේෂ ඡන්ද පත්‍රිකාවක් පමණි.

 

අන් අයෙකු විසින් ඡන්ද දායකයකුගේ ඡන්දය තැපැල් ඡන්දයක් ලෙස ඉල්ලීම වාර්තා වන්නේ එකම ගමේ එකම නම/වාසගම ඇති ඡන්ද හිමියන් සිටින විට දී හා පවුලේ  සාමාජිකයන්ට එකම ආකාරයේ නම් ඇතිවිට වරදවා තොරතුරු සම්පූර්ණ කිරීම හේතුවෙනි.  පූර්වයෙන් මෙවැනි සිද්ධිවලට සම්බන්ධිත පුද්ගලයන්ට වුව ද මේ පිළිබඳව දැනුවත් කර ඇත.

සෑම ඡන්ද හිමියකුටම තැපෑලෙන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා එවීමේ දී විදේශ ගතව ඡන්ද හිමියන් ලෙස වාර්තා වී ඇත්නම් "විදේශ ගත ඡන්ද හිමියකු බව වාර්තා වී තිබේ" යන සටහන යොදා ඇත.

 

එවැනි සටහන් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ යොදන ලද ඡන්ද හිමියන් විදේශ ගතව සිට පැමිණ ඇත්නම් ඡන්ද මධ්‍යස්ථානයට යන විට දී ස්වකීය වලංගු විදේශ ගමන් බලපත්‍රය රැගෙන යෑම අවශ්‍ය වේ.  මක්නිසා ද යත් විදේශ ගතව සිට පැමිණි බව සනාථ කිරීමට එය ප්‍රයෝජනවත් හෙයිනි.

 

විදේශ ගතව සිට පැමිණ ඇතිමුත් ගමන් බලපත්‍රය ඔබ සතුව නොමැති වුව ද ජාතික හැඳුනුම්පත හෝ වෙනත් වලංගු පිළිගන්නා හැඳුනුම්පතක් හරහා ඔබගේ අනන්‍යතාව සහතික කළ හැකිනම් ඔබට සාමාන්‍ය ඡන්ද පත්‍රිකාවක් ලබාගැනීමට හිමිකම තිබේ.  විදේශ ගතව සිට පැමිණි ඡන්ද හිමියන් සතුව ගමන් බලපත්‍රය නොමැති නම් ඒ බව ග්‍රාම නිලධාරි වෙත කල්වේලා ඇතිව දන්වා අප්‍රමාදව ඡන්ද පොළට යෑම සුදුසුය.  ඡන්ද පොළේ දී ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිට අදාළ කරුණු දන්වා ඔහුගේ විමසීම් වලට ද පිළිතුරු දී අවශ්‍ය වෙතොත් ප්‍රකාශ පත්‍ර සම්පූර්ණ කිරීමෙන් අනතුරුව  ඡන්ද පත්‍රිකාවක් ලබාගත හැකිය.  යම් හෙයකින් ඡන්ද පත්‍රිකාවක් ලබාදීම ප්‍රතික්ෂේප කළහොත් ඒ පිළිබඳව ග්‍රාම නිලධාරිට/ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි/ ඡන්ද අධීක්ෂණ කටයුතු කරන සහකාර තේරීම්භාර නිලධාරිට/ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ඒ බව කඩිනමින් පැමිණිලි කළ යුතුය.  මෙය කළ හැක්කේ කල්වේලා ඇතිව ඡන්ද පොළට ගියහොත් පමණි.

 

කිසිඳු කලෙක විදේශ ගතව නොසිටි ඡන්ද හිමියකු වෙත ලද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක විදේශ ගතව සිටින බවට සටහන ඇතිනම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලද වහාම ග්‍රාම නිලධාරිට/ මැතිවරණ කාර්යාලයට දැන්වීම අවශ්‍යය.

 

කල්වේලා ඇතිව එම දැනුම්දීම කළ නොහැකි වුවහොත් ඡන්ද විමසීමේ දින ඡන්ද පොළට යෑමට පෙර ග්‍රාම නිලධාරි වෙත තොරතුරු දන්වා ඡන්ද පොළට යා යුතුය.

 

ඡන්ද පොලේ දී ඡන්ද පත්‍රිකාවක් නිකුත් කිරීමට පෙර යම් ප්‍රකාශ පත්‍රයක් සම්පූර්ණ කරන ලෙස දැන්වුවහොත් එය සම්පූර්ණ කළ යුතු වේ.

 

මෙවැනි ඡන්ද දායකයකුට ඡන්දය පාවිච්චි කිරීමේ ගැටළුවක් ඇතිවුවහොත් වහාම ග්‍රාම නිලධාරි/ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි/ ඡන්ද පොළ අධීක්ෂණ සහකාර තේරීම්භාර නිලධාරි/ දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස් දැනුවත් කළ යුතුය.

p style="text-align: justify;">සෑම ඡන්ද හිමියකුටම ඡන්ද විමසීමට පෙර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් ලැබෙන අතර මියගිය බවට වාර්තා වී ඇති ඡන්ද හිමියන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවල "මියගිය ඡන්ද දායකයකු බවට වාර්තා වී ඇත" යන සටහන යොදා තිබේ.

 

මෙම සටහන වැරදි බව පෙනීයන්නේ නම් වහාම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වෙත හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත පැමිණිලි  කරන්න.  එවිට නොපමාව අවශ්‍ය නිවැරදි කිරීම් කරනු ඇත.

 

යම් හෙයකින් කල්වේලා ඇතිව එම දැනුම් දීම කළ නොහැකි වුයේ නම් ඡන්ද විමසීම් දිනයේ දී ඡන්ද පොළට යෑමට පෙර ග්‍රාම නිලධාරි මේ සම්බන්ධයෙන් දැනුවත් කර ජාතික හැඳුනුම්පත ද රැගෙන ඡන්ද මධ්‍යස්ථානයට යෑම වඩාත් සුදුසුය.

 

ඡන්ද පොළේ දී මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති දැනුවත් කර පසුව අනන්‍යතාව සහතික වේ නම් අවශ්‍ය වුවහොත් ප්‍රකාශ පත්‍රයක් ද සම්පූර්ණ කර ගැනීමෙන් පසු ඡන්ද පත්‍රිකාවක් ලබාදීමට ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති ක්‍රියාකරනු ඇත.

 

යම් කිසි ගැටළුවක් ඇති වූයේ නම් ග්‍රාම නිලධාරි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි, ඡන්ද පොළ අධීක්ෂණය භාර සහකාර තේරීම්භාර නිලධාරි හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය ඇමතීම යෙහෙකි.

ඡන්ද විමසීම සවස 4.00 ට අවසන් වූ පසු එක් එක් ඡන්ද පොළ භාර ස්ථානාධිපති විසින් පොලිස් ආරක්ෂාව යටතේ රැගෙනවිත් භාර දෙනු ලබන, ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා අඩංගු ඡන්ද පෙට්ටිය/පෙට්ටි සහ අනෙකුත් මුද්‍රිත කවර ගණන් කිරීමේ ශාලාවේ සේවයේ නියුතු සහකාර තේරීම්භාර නිලධාරින් විසින් භාරගනු ලැබේ. දේශපාලන පක්ෂ/ කණ්ඩායම් වෙත දන්වා ඇති ගණන් කිරීම ආරම්භ කරන වේලාව පසුවී ඡන්ද ගණන් කිරීම ආරම්භ කරනු ලැබේ. ඡන්ද පොළ කලබල සිදුව ඇති බවට වාර්තා වී ඇති මධ්‍යස්ථාන වේ නම් ඒවායේ ඡන්ද ගණන් නොකර නැවත ඡන්ද විමසීමක් පවත්වනු ලැබේ. ඡන්ද ගණන් කරනු ලබන්නේ දිස්ත්‍රික්කයේ ඇති දිස්ත්‍රික් ලේකම් කාර්යාලය (කච්චේරිය), කාර්මික විදුහල, පාසල් ගොඩනැගිලි වැනි රජයේ ගොඩනැගිලි වලදීය. ඡන්ද ගණන් කිරීමේ ශාලාවකදී සමාන්‍යයෙන් ඡන්ද පොළ 10 ක පමණ ඡන්ද පෙට්ටි වල ඇති ඡන්ද (ඡන්ද 10,000 – 12,000 ක්) ගණන් කරනු ලැබේ.

 

ඡන්ද ගණන් කිරීම භාරව කටයුතු කරන්නේ සහකාර තේරීම්භාර නිලධාරියකු (රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙකු ) විසිනි. ඔහුට සහය වීම සඳහා තවත් සහකාර තේරීම්භාර නිලධාරින් 8 දෙනෙකු පමණද, ගණන් කිරීමේ කටයුතු සඳහා තවත් නිලධාරින් 40 ක් පමණ එක් ඡන්ද ගණන් කරන ස්ථානයකට යොදවනු ලැබේ. ඡන්ද ගණන් කිරීම නිරීක්ෂණය සඳහා තරඟ කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට නියෝජිතයින් පස් දෙනා බැගින් පත් කිරීමට අවසර ඇත. තැපැල් ඡන්ද ගණන් කිරීමේ ස්ථානයට පත් කළ හැක්කේ නියෝජිතයින් දෙදෙනෙකු පමණි.

 

ඡන්ද ගණන් කිරීම ප්‍රධාන අදියර තුනකින් සිදු කරනු ලබයි. 

 

පළමු වැනි අදියර

ඡන්ද පොළ වලින් ලැබී ඇති ඡන්ද පෙට්ටි වෙන වෙනම එකින් එක විවෘත කර, එක් එක් පෙට්ටියේ අඩංගුව තිබූ ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව ගණන් කර සටහන් කර ගනු ලබයි. එසේ ගණන් කළ ඡන්ද පත්‍රිකා ශාලාවේ තබා ඇති ධාරකයක බහා විටින් විට එහි අඩංගු පත්‍රිකා මිශ්‍ර කරනු ලැබේ. පෙට්ට් සියල්ලම විවෘත කර ගණන් කිරීමෙන් පසු පළමු වැනි පියවර අවසන් වේ.

 

දෙවන අදියර

දෙවන අදියරේ 1 වන උප අදියර යටතේ ධාරකයේ ඇති ඡන්ද පත්‍රිකා ගණන් ගන්නා නිලධාරින් අසුන් ගෙන සිටින මේසය මතට ගෙනවිත්, සියළුම නිලධාරින් විසින් එක් එක් පක්ෂය සහ කණ්ඩායමේ ඡන්ද ලකුණු අනුව වෙන් කරමින්, ඒ ඒ පක්ෂය / කණ්ඩායම වෙනුවෙන් තබා ඇති බඳුන් වල බහාලනු ලැබේ.

 

දෙවන අදියරේ 2වන උප අදියර යටතේ ගණන් කිරීමේ මේසය කොටස් 5කට බෙදා, ඒ ඒ පක්ෂ / කණ්ඩායම් අනුව වෙන්කළ ඡන්ද පත්‍රිකා බඳුන් වෙන වෙනම ගෙන මෙසේ වෙන් කරනු ලබන ඡන්ද පත්‍රිකා ඊළඟට සිටින නිලධාරි කණ්ඩායම විසින් නැවත තේරීමත්, ඉන්පසුව ඊළඟ කණ්ඩායම විසින් ගණන් කරමින්, 50 මිටි සකස් කරයි. එසේ මිටි වලට බඳින ලද එක් එක් මිටියේ ඇති සංඛ්‍යාව , ලකුණ ආදිය හරි වැරදි බලමින් නැවත හරි වැරදි බලමින්, ඉන්පසු එක් එක් පක්ෂයට/ කණ්ඩායමට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව ගණන් කර ප්‍රතිඵලය ලබා ගනු ලැබේ. නැවත ගණන් කිරීමක් අවශ්‍ය බව ගණන් කිරීමේ ශාලාවේ සිටින පක්ෂ නියෝජිතයන් ඉල්ලීමක් කළහොත් නැවත ගණන් කිරීම් දෙකකට ඉඩ ඇත.

 

තුන්වන අදියර

මෙම අවස්ථාවේදී එක් එක් පක්ෂය / කණ්ඩායම, ලබා ගත් ඡන්ද සංඛ්‍යාව අඩංගු ඡන්ද පත්‍රිකා වෙන වෙනම ගෙන ඒවායේ මනාප/ මනාප 2 සහ මනාප 3 ලෙස සලකුණු කර ඇති මනාප නියමිත සැසඳුම් පත්‍ර වල(Tally Sheets) ආකෘති මත සටහන් කරගනු ලැබේ. එසේ මනාප සලකුණු කිරීමෙන් පසුව සාරාංශ පත්‍ර(Summary Sheets) දෙකක් සකස් කර, සියළුම අපේක්ෂකයන් ලබා ගත් මනාප සංඛ්‍යාව සලකුණු කිරීමෙන් පසු ඡන්ද ගණන් කිරීම අවසන් වේ.

 

එක් එක් පක්ෂය/කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව සහ එක් එක් අපේක්ෂකයා ලබා ගත් මනාප සංඛ්‍යාවත් වාර්තා දෙකක් ලෙසින් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරින් ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ ස්ථානයට භාර දෙනු ලැබේ.

 

ප්‍රතිඵල නිකුත් කිරීම

ප්‍රතිඵල වගුගත කිරීම හා ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයට සියළුම ඡන්ද ගණන් කරන මධ්‍යස්ථාන වලින් ගණන් කිරීමේ වාර්තා ලැබුණු පසු පළමුව එක් එක් පක්ෂය සහ කණ්ඩායම විසින් ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව ගණනය කර ඔවුන් ලබා ගෙන ඇති ඡන්ද සංඛ්‍යා අනුපාතය අනුව ලැබෙන මන්ත්‍රී/ සභික සංඛ්‍යාව තීරණය කර ප්‍රකාශයට පත් කරයි. ඊළඟ මනාප සංඛ්‍යාව ගණන් කර, එක් එක් අපේක්ෂකයා ලබා ගෙන ඇති මනාප සංඛ්‍යාව සකස් කර , ඔවුන් ලබා ගත් මනාප සංඛ්‍යාව අනුව එක් එක් පක්ෂයේ / කණ්ඩායමේ පත්වන මන්ත්‍රී / සභිකයින්ගේ නම් ප්‍රකාශයට පත් කරනු ලැබේ