මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
IMG-LOGO

අපගේ ඉතිහාසය

රාජ්‍ය අංශය විසින් ඉටුකළ යුතු කාර්යයන් හා පොදු සේවා පවත්වාගෙන යාම පිණිස දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, අනෙකුත් රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත ආයතන පිහිටුවීම නිදහසට පෙර සිට මෙන්ම නිදහසින් පසුව ද, සිදුවන සාමාන්‍ය ක්‍රියාදාමයකි. මැතිවරණ දෙපාර්තමේන්තුවේ ආරම්භය ද, එහි එක් අවස්ථාවකි. මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවීමේ මූලික අරමුණ වූයේ මැතිවරණ ක්‍රියාවලිය මෙහෙය වීම හා ඒ සඳහා වූ කළමනාකරණ කටයුතු පවත්වාගෙන යාමයි. එනම්, නිදහස් හා සාධාරණ අන්දමින් මැතිවරණ පැවැත්වීම  හා ඊට අවශ්‍ය වන වාර්ෂික ඡන්දහිමි නාමලේඛනය පිළියෙල කිරීම ඇතුළු ව්‍යවස්ථාපිත හා ව්‍යවස්ථාපිත නොවන කාර්යයන් පවත්වාගෙන යාම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය විය. 

මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබුයේ 1955 ඔක්තෝබර් මස පළමු වන දිනය.  එහෙත් එය එක්වරම සිදුවූවක් නොවේ. ඒ නිසා දෙපාර්තමේන්තුව පිහිටුවීමට පෙර පැවති තත්ත්වය පිළිබඳව විමසා බැලීම එහි ඓතිහාසික විකාශය හා ක්‍රමික වර්ධනය පිළිබඳව අවබෝධයක් ලැබීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.

ශ්‍රී ලංකාවේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයෙහි ආරම්භය, 19 වන සියවස තෙක් දිවයයි.  වර්තමානයේ  මෙන් මැතිවරණ හා ඡන්ද විමසීම් පුළුල් ආකාරයෙන් නොපැවතිය ද, බ්‍රිතාන්‍ය පාලන සමයේ එනම් 1865 අංක 17 දරන ආඥා පනත අනුව කොළඹ නගර සභාවේ නියෝජිතයින් ඡන්දයෙන් තෝරා ගැනීම පිණිස පැවැති ඡන්ද විමසීමේදී මෙරට ජන කොටසකට පළමු වරට  ඡන්දය ප්‍රකාශ කිරීමට  අවස්ථාව උදාවිය.  ඉන් පසුව කෲව් මැකලම් කොමිෂන් සභාවේ නිර්දේශ මත 1911 වර්ෂයේ දී පමණ එවකට පැවති ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත නියෝජිතයින් සිව් දෙනෙකු පමණක් සීමිත ඡන්දයකින් මෙරට ඡන්ද හිමියන් විසින් තේරා ගැනීම අනුව ව්‍යවස්ථාදායකයට මහජන ඡන්දයෙන් නියෝජිතයන් තෝරා ගැනීම් ආරම්භ විය. එනම්, 1910 සිදු කරන ලද කෲව් මැකලම් ප්‍රතිසංස්කරණ යටතේ ව්‍යවස්ථාදායක සභාව, නියෝජිතයින් 21 දක්වා වැඩි කරන ලදුව නිල ලත් 11 ක් සහ නිල නොලත් 10 ක් වශයෙන් ව්‍යවස්ථාදායක සභාව සමන්විත විය. එහිදී නිල නොලත් මන්ත්‍රීවරුන් අතරින් සිව් දෙනෙක් එනම්, යුරෝපීය (ග්‍රාමීය හා නාගරික) 02 ක්, බර්ගර් 01 ක් හා ලාංකික 1 ක්  වශයෙන් හතර දෙනෙකු 1911 වසරේ පවත්වන ලද සීමිත ඡන්දයකින් පත් කරන ලදී.

කෝල්බෲක්  ප්‍රතිසංස්කරණය යටතේ මුලින්ම 1833 පිහිටුවන ලද ව්‍යවස්ථාදායක සභාව නිල ලත් 09 ක් හා නිල නොලත් 06 ක් වශයෙන් 15 (පහළොස්) දෙනෙකුගෙන් සමන්විත වුවද, එම අවස්ථාවේ මන්ත්‍රීවරුන් ඡන්දයෙන් පත් නොකරන ලදී. එහිදී සිදුකරනු ලැබුවේ නිල නොලත් මන්ත්‍රීවරුන්  වශයෙන් යුරෝපීය 03 ක්, සිංහල  01 ක්, ද්‍රවිඩ 01 ක් හා බර්ගර් 01ක් වශයෙන් හය දෙනෙකු ආණ්ඩුකාරයා විසින් නම් කිරීමයි.

මැනිං ඩෙවන්ෂයර් ප්‍රතිසංස්කරණ යටතේ 1920 පිහිටුවන  ලද  ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව  මන්ත්‍රීවරු 37 කින් සමන්විත විය. එය නිල ලත් 14 ක් හා නිල නොලත් 23 කින් යුක්ත විය. නිල නොලත් පස් (05) දෙනෙකු ඡන්ද කොට්ඨාස අනුව ඡන්දයෙන් පත් කරන ලදී.

1923 රාජාඥාව යටතේ 1924 වර්ෂයේ පිහිටුවන ලද ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට මන්ත්‍රීවරු 49 දෙනෙකු පත් කරන ලදී. එය නිල ලත් මන්ත්‍රීවරු 12 ක් හා නිල නොලත් මන්ත්‍රීවරු 37 කගෙන් සමන්විත විය. නිල නොලත් අයගෙන් 23 දෙනෙක් පළාත්බද ඡන්දයෙන් තෝරා පත් කරන ලදී.

ඉහත තොරතුරු අනුව 1910  - 1930 අතර කාලය තුළ  ඡන්ද  විමසීම් 03 ක් පවත්වා ඇති අතර, එම ඡන්ද විමසීම් පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන ව්‍යවස්ථා තුනක් මගින් සලසන ලද බව පෙනේ. එනම්,

1. 1910 ව්‍යවස්ථාදායක සභා ආඥා පනත

2. 1920 ලංකා (රාජ්‍ය සභා) ආඥාව

3. 1923 ලංකා (රාජ්‍ය සභා) ආඥාව

මෙම ඡන්ද විමසීම් වලදී මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සිදු වූයේ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා අනුවය.

මෙම මන්ත්‍රීවරු ඡන්දයෙන් පත් කිරීමේ දී වර්තමානයේ මෙන් සීමා නීර්ණය කොමිෂන් සභාවක් මගින් මැතිවරණ කොට්ඨාස වෙන් කිරීමක් සිදුකර නැත. ඒ සඳහා පහත සඳහන් නිර්ණායක යොදාගත් බව පෙනේ. එහිදී භූමියේ ප්‍රමාණය හෝ ජනගහණය පිළිබඳව සැලකිල්ලක් දක්වා නැති බැව් අනාවරණය වේ.

1. පරිපාලන භූමි ඒකක යොදා ගැනීම; උදාහරණ :-  ඒ වනවිට පැවැති පළාත් හෝ ආදායම් දිස්ත්‍රික්ක

2. ජන කොට්ඨාස අනුව බෙදා වෙන් කිරීම; උදාහරණ :-  යුරෝපීය (ග්‍රාමීය), යුරෝපීය (නාගරික), බර්ගර් ආදී වශයෙන්

3. සිංහල හා දෙමළ කොට්ඨාස වශයෙන් (පසුකාලය වනවිට)

4. රැකියාව හෝ වෘත්තිය අනුව‍; උදාහරණ :- වාණිජ මණ්ඩලයේ සාමාජිකයන්/ නිෂ්පාදන සමාගම් සාමාජිකයන් ආදී පිරිස

මෙම කාලය තුළ ඡන්දහිමියන්ගේ සුදුසුකම් වශයෙන් විවිධ කරුණු සැලකිල්ලට ගෙන ඇති බැව් දක්නට ඇත. ඒ අනුව,

1. ජාතීන් අනුව ඡන්ද කොට්ඨාස ඇති කිරීම මගින් ජාතිය ඡන්ද බලය ලැබීමට සුදුසුකමක් වීම.

2. භාෂා දැනුම මත ඡන්ද අයිතිය ලැබීම; මෙහිදී ඉංග්‍රිසි වැනි භාෂා දැනුම තිබීම ඡන්ද බලය ලැබීමට සුදුසුකමක් වී ඇත.

3. පදිංචිය අනුව සුදුසුකම් ලැබීම; මේ යටතේ සෑම වසරකම ජූනි මස 01 වැනි දිනට වසරක කාලයක් එම ප්‍රදේශයේ පදිංචිව සිටීම අවශ්‍ය වූ අතර ඉන් අවසන් මාස 06ක කාලය අඛණ්ඩ පදිංචියක් තිබීම අවශ්‍ය විය.

4. ආදායම් හා වත්කම්

උදාහරණ වශයෙන් වාර්ෂික ආදායම රු.600/- ක් තිබිය යුතු අතර රු.1,500/- ක වත්කමක්/ නිශ්චල දේපළක් හිමිව තිබීම ආදී යන කරුණු සැලකිල්ලට ගන්නා ලදී.

ඡන්දහිමියන්ට සුදුසුකම් මෙන්ම නුසුදුසුකම් ද නියමකර තිබීම විශේෂිත වේ. ඒ අනුව අවුරුදු 21ට  අඩුවීම, ස්ත්‍රීභාවය, මානසික සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම, සිරදඬුවම් ලබා තිබීම හා මරණ දඬුවම ලබා තිබීම වැනි හේතු මත ඡන්ද අයිතිය අහිමි කරන ලදී. 

 

අපේක්ෂක සුදුසුකම්

අපේක්ෂකයන් ඡන්දහිමියන් වශයෙන් ලියාපදිංචි වී සිටීම පමණක් ප්‍රමාණවත් නොවීය. අපේක්ෂකයෙකු වීමට නුසුදුසුකම් නොතිබිය යුතු අතර පදිංචි කාලය අවුරුදු 3ක්  වීම, වසර 3කට වැඩි සිර දඬුවම් ලබා නොතිබීම ආදිය ද සැලකිල්ලට ගන්නා ලදී. එමෙන්ම වයස අවුරුදු 25ට අඩුවීම, රාජ්‍ය සේවයේ යෙදී සිටීම හෝ රාජ්‍ය සේවයෙන් ඉවත්කළ අයකු වීම නුසුදුසු වීමට බලපා ඇත. ආදායම් තත්ත්වය ද  1920 ආඥා පනතේ 13 (2) යටතේ සලකා බලා ඇත.

වර්තමානයේ මෙන්ම එකල ද ඡන්දහිමි නාමලේඛන පිළියෙල කිරීමක් සිදුකර ඇත. එවක ප්‍රධාන පාලකයා වූ ආණ්ඩුකාරයා විසින් ලියාපදිංචි කිරීමේ නිලධාරීන් පත් කරන ලද අතර එම ලියාපදිංචි කිරීමේ නිලධාරීන් විසින් ඡන්දහිමි නාමලේඛනය පිළියෙල කරන ලදී. ආණ්ඩුවේ ඒජන්තවරයා, සහකාර ඒජන්තවරු, ආදායම් පාලක වැනි තනතුරු දරන ලද අය ලියාපදිංචි නිලධාරීන් වශයෙන් පත් කරන ලදී.

මෙම සියලු කටයුතු පරිපාලනය හා කළමනාකරණය කිරීම සිදුවූයේ ආණ්ඩුකාරයාගේ විධාන යටතේය. ඔහු විසින් තේරීම්භාර නිලධාරීන්, ඡන්ද ස්ථානාධිපතිවරුන් ආදී කාර්ය මණ්ඩලය තෝරා ගැනීම හා පත් කිරීම සඳහා ක්‍රියාකර ඇත. ලියාපදිංචි කිරීමේ නිලධාරීන්, විශේෂයෙන් ඡන්දහිමියන් ගණන් ගැනීම සිදුකරන ලදී. තේරීම්භාර නිලධාරීන් විසින් ඡන්ද විමසීම, ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම මෙන්ම සියලු කටයුතු මෙහෙයවීම සිදුකර ඇත. මේ හැර මැතිවරණ වැරදි හා දූෂණ සම්බන්ධයෙන් යම් යම් විධිවිධාන සලසා තිබීම වැදගත් ලක්ෂණයකි.

ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ 1931 ලංකා (රාජ්‍ය සභා) ආඥා පනතට අනුව රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවන ලදී. රාජ්‍ය මන්ත්‍රණ සභාවට නියෝජිතයන් පත් කිරීම පිණිස 1931 ලංකා (රාජ්‍ය සභා) මැතිවරණ ආඥා පනත අනුව ක්‍රියා කරන ලදී. 1931 හා 1936 වසරවල මේ සඳහා මැතිවරණ දෙකක් පවත්වා ඇත. දෙවන මහා ලෝක යුද්ධය නිසා ඊළඟ මැතිවරණය නොපැවැත්වුණි. ඒ අනුව දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නිල කාලය අවුරුදු 11 ක් දක්වා දීර්ඝ කර පවත්වාගෙන ගිය බව පෙනේ.

1930 දී ආණ්ඩුකාරයා විසින් සීමා නීර්ණ කොමිෂන් සභාවක් පත් කරන ලද අතර, එම කොමිෂන් සභාව විසින් පළාත් අනුව මැතිවරණ කොට්ඨාස 50ක් බෙදා වෙන් කරන ලදී. මෙහිදී ජනගහණය 100,000 – 125,000 ත් අතර ප්‍රමාණයකට එක් මන්ත්‍රීවරයකු වශයෙන් පත් කිරීමට සැලසුම් කළ බව පෙනේ. ඒ අනුව මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව පළාත් අනුව නියම කරන ලදී.

උතුරු පළාත - 05
මධ්‍යම පළාත - 08
සබරගමුව පළාත - 05
උතුරුමැද පළාත - 01
නැගෙනහිර පළාත - 02
දකුණු පළාත - 07
වයඹ පළාත - 05
බස්නාහිර පළාත - 14
ඌව පළාත - 03

වශයෙන් එම කොට්ඨාස 50වෙන්වී ඇත.

ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ වුවද ආණ්ඩුකාරයා විසින් පත් කරන ලද ලියාපදිංචි කිරීමේ නිලධාරීන් විසින් ඡන්දහිමි නාමලේඛනය පිළියෙල කිරීමේ කටයුතු සිදුකරන ලද අතර ඒ යටතේ ඡන්දහිමියන් ලියාපදිංචි කරන ලදී. ඩොනමෝර් ප්‍රතිසංස්කරණ යටතේ සර්වජන ඡන්ද අයිතිය අවුරුදු 21ට වැඩි ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂයටම ලැබුණි. සර්වජන ඡන්ද බලය යනු නියමිත වයස් සීමාව ඉක්මවූ ව්‍යවස්ථාපිත නුසුදුසුකම්වලට යටත් නොවූ සියලු පුරවැසියන්ට භේදයකින් තොරව තම ඡන්දය පාවිච්චි කිරීමට ඇති අයිතිය ලෙස හැඳින්විය හැක. මේ සඳහා අවශ්‍ය වන නීති හා නව මැතිවරණ ක්‍රියාවලියකට අවශ්‍ය නීති හා කළමනාකරණ විධිවිධාන  අලුතින් හඳුන්වා දෙන ලදී. මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවීම ආණ්ඩුකාරවරයාගේ උපදෙස් හා නියෝග මත තේරීම්භාර නිලධාරීන් විසින් පෙර මෙන්ම සිදුකරන ලදී.

1931 හා 1936 පැවැති මැතිවරණවලදී ඡන්ද පත්‍රිකාවල පක්ෂ සලකුණු නොයොදන ලදී. ඒ වෙනුවට එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් විවිධ පාට වලින් යුතු ඡන්ද පෙට්ටි භාවිත කළ බවත් ඡන්දදායකයාට ඡන්ද පත්‍රිකාව තමා කැමති අපේක්ෂකයාගේ/ පක්ෂයේ පාට දැක්වෙන පෙට්ටියට දැමීම මගින් තම කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසන ලද බවත් විශේෂ ලක්ෂණයකි. සර්වජන ඡන්ද බලය ලැබීම යටතේ අවුරුදු 21ට වැඩි සියලු දෙනාට ඡන්ද බලය හිමිවීමත් පෙර පරිදි උගත්කම ඡන්දහිමියකු වීමට අවශ්‍ය විශේෂ සුදුසුකමක් නොවීමත් නිසා අලුතින් එකතුවන විශාල පිරිසකගේ  සාක්ෂරතාවය පිළිබඳ ගැටලුවට මෙය මනා ප්‍රතිකර්මයක් වන්නට ඇත.

1946 ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ්‍ය සභා ආඥාව හා 1946 පළාත් පාලන ආඥා පනත පැනවීමෙන් පසු  1947 දී පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම සඳහා කොමසාරිස්වරයෙකු යටතේ පාර්ලිමේන්තු මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබ ඇත. එමෙන්ම  පළාත් පාලන (ප්‍රාදේශීය මණ්ඩල) ආයතන ඡන්ද විමසීම සඳහා පළාත් පාලන ඡන්ද විමසීම් දෙපාර්තමේන්තුව තවත් කොමසාරිස්වරයෙකු යටතේ පිහිටුවනු ලැබීය. මේ අනුව  1947 – 1955 ඔක්තෝබර් දක්වා දෙපාර්තමේන්තු දෙකකින් කොමසාරිස්වරු දෙදෙනෙක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත් පාලන සභිකයන් තෝරා පත්කිරීමට ක්‍රියාකර ඇත. ඒ අනුව 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය හා 1952 දෙවන පාර්ලිමේන්තු මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලදී. පළාත් පාලන ඡන්ද විමසීම් දෙපාර්තමේන්තුව විසින් අදාළ කාලය තුළ පළාත් පාලන ඡන්ද විමසීම් ද පවත්වන ලදී.

1946 ලංකා (පාර්ලිමේන්තු මැතිවරණ) රාජ්‍ය සභා ආඥාව හා 1946 පළාත් පාලන ආඥා පනත පැනවීමෙන් පසු  1947 දී පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම සඳහා කොමසාරිස්වරයෙකු යටතේ පාර්ලිමේන්තු මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවනු ලැබ ඇත. එමෙන්ම  පළාත් පාලන (ප්‍රාදේශීය මණ්ඩල) ආයතන ඡන්ද විමසීම සඳහා පළාත් පාලන ඡන්ද විමසීම් දෙපාර්තමේන්තුව තවත් කොමසාරිස්වරයෙකු යටතේ පිහිටුවනු ලැබීය. මේ අනුව  1947 – 1955 ඔක්තෝබර් දක්වා දෙපාර්තමේන්තු දෙකකින් කොමසාරිස්වරු දෙදෙනෙක් යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා පළාත් පාලන සභිකයන් තෝරා පත්කිරීමට ක්‍රියාකර ඇත. ඒ අනුව 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය හා 1952 දෙවන පාර්ලිමේන්තු මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණ දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලදී. පළාත් පාලන ඡන්ද විමසීම් දෙපාර්තමේන්තුව විසින් අදාළ කාලය තුළ පළාත් පාලන ඡන්ද විමසීම් ද පවත්වන ලදී.

[/collapse] [collapse title="මැතිවරණ දෙපාර්තමේන්තුව පිහිටුවීම"]

මැතිවරණ දෙපාර්තමේන්තුව 1955 ඔක්තෝබර් මස 01 වැනි දින පිහිටුවන ලදී. එතෙක් පැවති පාර්ලිමේන්තු මැතිවරණ දෙපාර්තමේන්තුව හා  පළාත් පාලන ඡන්ද විමසීම් දෙපාර්තමේන්තුව ඒකාබද්ධ කිරීමෙන් මැතිවරණ දෙපාර්තමේන්තුව ස්ථාපිත කරනු ලැබිණි. එහි ප්‍රධානියා මැතිවරණ  කොමසාරිස්වරයා විය.

වර්තමාන හැඳින්වීම අනුව පරමාධිපත්‍යය හා ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනු පිණිස නිදහස් හා සාධාරණ මැතිවරණ, ඡන්ද විමසීම් හා ජනමත විචාරණ පැවැත්වීමත්, ඒ සඳහා අවශ්‍ය ඡන්දහිමි නාමලේඛනය සැකසීමත්, මැතිවරණ දෙපාර්තමේන්තුවේ දැක්ම හා වගකීම වේ. මෙම වගකීම ඉටුකිරීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයාට හා මැතිවරණ දෙපාර්තමේන්තුවට වෙනත් රජයේ ආයතනවලට නොමැති විශේෂ ස්වාධීනත්වයක් අතීතයේ පටන් හිමිවී තිබිණි.

මැතිවරණ දෙපාර්තමේන්තුව කිසිඳු අමාත්‍යාංශයක් යටතට පත් නොකිරීම, මැතිවරණ කොමසාරිස්වරයාගේ අවසරයකින් තොරව නිලධාරීන්  දෙපාර්තමේන්තුවට ගැනීම හෝ ඉන් බැහැරට යැවීම සිදුකළ නොහැකි වීම, ස්වාධීනව ක්‍රියාකිරීමට අවස්ථාව ලබාදීම හා දෙපාර්තමේන්තුවට බලපෑම් සිදු නොකිරීම නිසා එහි ස්වාධීනත්වය ආරක්ෂා වී තිබිණි. තවද මැතිවරණ කොමසාරිස්වරයා අධිකරණයට පමණක් වගකීමට බැඳී සිටීම යනාදී කරුණු මැතිවරණ දෙපාර්තමේන්තුව, වෙනත් රජයේ දෙපාර්තමේන්තුවලට වඩා ස්වාධීනත්වයක් භුක්ති විඳීම පිළිබඳ උදාහරණ වේ.

ඒ අනුව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් පැවැත්වීම හා සුදුසුකම්ලත් සියලුම පුරවැසියන් ඡන්දහිමියන් වශයෙන් වාර්ෂික ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි කිරීම හා සුදුසුකම් නොලබන පුරවැසියන් ඡන්දහිමි නාමලේඛනයට ඇතුළත්වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම හරහා පුරවැසියන්ගේ ඡන්ද බලය සුරක්ෂිත කිරීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මැතිවරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය විය.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නියම කරනු ලබන ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීමත්, ඍජුවම ජනතාවගේ කැමැත්ත විමසිය යුතු අවස්ථාවලදී ජනමත විචාරණ පැවැත්වීමත්, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ජන්ද විමසීම් නිදහස් හා සාධාරණ අයුරින් ද විශ්වාසනීයත්වයෙන් යුතුව ද, පැවැත්වීම දෙපාර්තමේන්තුව සතු තවත් ප්‍රධාන වගකීමයි.

මේ අනුව මැතිවරණ දෙපාර්තමේන්තුව සතු  කාර්යභාරය පහත සඳහන් අයුරින් සාරාංශ කොට දැක්විය හැක.

(අ) වාර්ෂික ඡන්දහිමි නාමලේඛනය පිළියෙල කිරීම හා සහතික කිරීම.

(ආ) ජාතික මට්ටමෙන්

1. ජනාධිපතිවරණය

2. පාර්ලිමේන්තු මහ මැතිවරණය

3. ජනමත විචාරණය

පැවැත්වීම

(ඇ)  පළාත් මට්ටමින් හා ප්‍රාදේශීය මට්ටමින්

1. පළාත් සභා ඡන්ද විමසීම් පැවැත්වීම

2. මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම් පැවැත්වීම. 

මෙම සියලුම ඡන්ද විමසීම් හා මැතිවරණ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති විධිවිධානවලට අමතරව එක් එක් මැතිවරණය හෝ ඡන්ද විමසීම සඳහා විශේෂ පනත් මගින් නීතීමය ප්‍රතිපාදන සලසා ඇත. ඒවා පහත සඳහන් වේ.

(i)  1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත
(ii) 1981 අංක 07 දරන ජනමත විචාරණ පනත
(iii) 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත
(iv) 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත
(v) 1980 ප්‍රාදේශීය සභා පනත
(vi) 1988 අංක 02 දරන පළාත් පාලන ඡන්ද විමසීම් පනත
(vii) 1980 අංක 44 දරන ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේ පනත

 

ඉහත ඡන්ද විමසීම් පනත්වලට අමතරව 1980 අංක 35 දරන සංවර්ධන සභා පනතට අනුව 1981.03.25 දිනැති අංක 133/7 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් පිහිටුවන ලද සංවර්ධන සභා 24 සඳහා එම ගැසට් නිවේදනය අනුව සභිකයන් තෝරා ගැනීමේ ඡන්ද විමසීම 1981.06.04 වන දින පැවැත්විය.


මේ එක් එක් පනත මගින් අදාළ ඡන්ද විමසීමට හෝ මැතිවරණයට අදාළව මැතිවරණ ක්‍රියාවලිය සඳහා නීතිමය බලය ලබා දී ඇත. ඒ යටතේ නාම යෝජනා භාර ගැනීම, මැතිවරණ ක්‍රියාවලිය මෙහෙයවීම, මැතිවරණ වැරදි හා නීති විරෝධී ක්‍රියා පාලනය කිරීම ඇතුළු සියලු පරිපාලනය හා කළමනාකරණය මැතිවරණ කොමසාරිස්වරයාගේ නියමය පරිදි සිදුකරනු ලැබේ.

මැතිවරණ දෙපාර්තමේන්තුව 1955 වර්ෂයේ ස්ථාපිත කරන ලද අවස්ථාවේ පැවැති නීතිමය ප්‍රතිපාදන, පැවැත්විය යුතු මැතිවරණ හා ඡන්ද විමසීම් හා එම ඡන්ද විමසීම් පැවැත්වීමේ දී  අනුගමනය කරන ක්‍රමවේද හා පරිපාලන ක්‍රියාවලිය විටින් විට වෙනස් වී ඇත. ඒ අනුව මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවය කළ කොමසාරිස්වරුන්ගේ ධූර කාලයත් සමග එම වෙනස්වීම් සඳහන් කිරීම සුදුසු වේ. මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවන අවස්ථාව වන විට මැතිවරණ කොමසාරිස්වරු හය දෙනෙකු (06) සේවයේ නියුතුව සිට ඇත.

ඒ. අරූල්ප්‍රගාසම් මහතා -  1955.10.01 – 1957.03.06

මැතිවරණ දෙපාර්තමේන්තුවේ පළමු වන කොමසාරිස්වරයා වශයෙන් පත් වූයේ ඒ. අරූල්ප්‍රගාසම් මහතාය. ඔහු මෙම ධූරයට පත්වීමට ප්‍රථම, පළාත් පාලන මැතිවරණ කොමසාරිස් ධූරය හෙබවීය. ශ්‍රී ලංකාවේ තුන්වන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ ඔහුගේ  සේවා කාලය තුළය. මෙම කාලය තුළ සිදු වූ විශේෂ සිදුවීම් අතර,

1. 1956 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම; මෙම මැතිවරණය දින තුනක් තුළ  පවත්වන ලදී.

2. ඡන්දහිමියන් ගණන් ගැනීමේ ආකෘතිය (බී.සී ආකෘතිය) ගෘහ මූලිකයා විසින් අත්සන් කර භාරදීමේ ක්‍රමය ආරම්භ වීම.

3. එතෙක් අකාරාදී පිළිවෙලට අනුව පිළියෙල කල ඡන්දහිමි නාමලේඛනය ගෘහ අංක අනුපිළිවෙලට අනුව පිළියෙල කිරීම.

යන සිද්ධීන් වැදගත් වේ.

 

ඊ.එෆ්. ඩයස් අබේසිංහ මහතා  - 1957.03.07 – 1978.03.15

ඊ.එෆ්. ඩයස් අබේසිංහ මහතා මැතිවරණ කොමසාරිස් ධූරයට 1957.03.07 වන දින පත් විය. අරූල්ප්‍රගාසම් මහතා විශ්‍රාම ගැනීම නිසා එම ධූරය පුරප්පාඩු විය. ඉතා දිගු කලක් සේවයේ නියුතුව සිටි අබේසිංහ මහතා 1978.03.15 දින විශ්‍රාම ගත්තේය. මේ කාලය  මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශේෂ සිදුවීම් රැසක් සිදුවූ යුගයක් ලෙස සැලකේ. එමෙන්ම මැතිවරණ සම්බන්ධයෙන් විශේෂ නීති රීති හා නවාංග එක්වූයේ මෙම කාල සීමාව තුළදීය.

මැතිවරණ දෙපාර්තමේන්තුවේ කටයුතු ආරම්භක අවස්ථාවේ සිට ක්‍රමයෙන් වර්ධනය වීම මෙහිලා දක්නට ඇති විශේෂ ලක්ෂණයකි. ඒ අනුව ආයතන ප්‍රධානියා වශයෙන් අවශ්‍ය නීතිමය පසුබිම මෙන්ම මැතිවරණ කළමනාකරණය විධිමත් කිරීමට ඔහු ක්‍රියා කළ බව දැකිය හැක. එම කාල සීමාව තුළ සිදු වූ වැදගත් සිද්ධීන් පහත දැක්වේ.

1. පාර්ලිමේන්තු මැතිවරණය එක් දිනයක් තුළ පැවැත්වීම ආරම්භ කිරීම.(1960 මාර්තු මැතිවරණය) ඊට පෙර 1947 වර්ෂයේ පැවති  පළමුවන පාර්ලිමේන්තු මැතිවරණය දින 19 ක් තුළ පවත්වා ඇත.  1952 වර්ෂයේ පැවති දෙවන පාර්ලිමේන්තු මැතිවරණය දින 04 කින්ද, 1956 වර්ෂයේ පැවති තුන්වන පාර්ලිමේන්තු මැතිවරණය දින 03 කින්ද, පවත්වා නිමකර ඇත. ඒ අනුව මැතිවරණය එක් දිනකින් පැවැත්වීම ආරම්භ කිරීම සුවිශේෂී වේ. 1960 මාර්තු සිට මේ දක්වා පැවති සියලුම පාර්ලිමේන්තු මැතිවරණ ජනමත විචාරණ එක්දින මැතිවරණ වශයෙන් පවත්වන ලදී.

2. දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම හා පිළිගත් දේශපාලන පක්ෂ ක්‍රමය හඳුන්වා දීම.

3. ඡන්ද හිමියන් වෙත නිල ඡන්ද දැන්වීම් පත් යැවීම හා ඡන්දය පැවැත්වෙන දිනය, ඡන්ද පොළ, ලියාපදිංචි අනුක්‍රමික අංකය හා ඡන්දය ප්‍රකාශ කළ හැකි කාලය ආදී තොරතුරු මෙම දැන්වීම මගින් ඡන්දහිමියාට දැනුම් දීම.

4. අත්‍යවශ්‍ය සේවා වල නිරත වන අයට තැපෑලෙන් ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව සලසා දීම.

5. 1960 මාර්තු සිට 1977 දක්වා මහ මැතිවරණ 05 ක් හා පළාත් පාලන ඡන්ද විමසීම් රාශියක් පැවැත්වීම.

6. 1972 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීම. මේ යටතේ අග්‍රාණ්ඩුකාරයා වෙනුවට නාමික ජනාධිපතිවරයෙකු පත්කිරීම, පාර්ලිමේන්තුව වෙනුවට ජාතික රාජ්‍ය සභාව ස්ථාපිත කිරීම, උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි වීම ආදී වෙනස්කම් සමග ඊට අදාළ වන පරිදි මැතිවරණ දෙපාර්තමේන්තුවේ නීති ඇතුළු වෙනස්කම් ඇති කිරීම. ජාතික රාජ්‍ය සභාවේ කාලය අවුරුදු 06ක් වශයෙන් වැඩි කිරීම.

 

එම්.ඒ. පියසේකර මහතා - 1978.03.16 – 1982.01.31 

එම්.ඒ. පියසේකර මහතා - 1978.03.16 – 1982.01.31 සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු වශයෙන් සේවය කිරීමෙන් පසුව මැතිවරණ කොමසාරිස් ධූරයට 1978.03.16 වන දින පත් විය. මෙම කාලය තුළ මැතිවරණ දෙපාර්තමේන්තුවේ සිදුව ඇති විශේෂතා අතර පහත සඳහන් කාරණා සඳහන් කළ හැකිය.

1. 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීම හා මේ යටතේ අලුතින් ජනාධිපතිවරණය, ජනමත විචාරණය වැනි මැතිවරණ ක්‍රම හඳුන්වා දීම.

2. ඡන්දය ප්‍රකාශ කිරීමේදී පක්ෂයට ඡන්දයක් හා අපේක්ෂකයන්ට මනාපය පළ කිරීමේ නව ක්‍රමයක් හඳුන්වා දීම.

3. 1980 අංක 35 දරන සංවර්ධන සභා පනත සම්මත කිරීම තුළින් නව පළාත් පාලන ආයතන විශේෂයක් දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවීම හා ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීම.

4. 1981 සංවර්ධන සභා ප්‍රථම ඡන්ද විමසීම පැවැත්වීම.

 

මැතිවරණ කොමසාරිස් පියසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයකට වැඩ බලන මැතිවරණ කොමසාරිස්වරු දෙදෙනකු වූ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්, එල්.ඒ.ජී. ජයසේකර මහතා 1982.02.01 – 1982.03.24 දක්වා ද ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු වූ එස්.එල්. මරික්කාර් මහතා 1982.03.25 – 1982.05.03 දක්වා ද පත් කරනු ලැබූහ.

 

ආර්.කේ. චන්ද්‍රානන්ද ද  සිල්වා මහතා - 1982.05.04 – 1995.02.18

ආර්.කේ. චන්ද්‍රානන්ද ද  සිල්වා මහතා  1982.05.04 දින මැතිවරණ කොමසාරිස් ධුරයට පත් කරන ලදී.  ඔහු එම ධුරයට පත්වීමට පෙර සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු වශයෙන්ද  මැතිවරණ දෙපාර්තමේන්තුවේ සේවය කර තිබිණි.

මේ කාලය මැතිවරණ දෙපාර්තමේන්තුවට ඉතා කාර්ය බහුල යුගයක් විය. රටේ දේශපාලනිකව පැවැති අර්බුදකාරී තත්වය මෙන්ම භීෂණකාරී යුගයක් පැවතීම නිසා මැතිවරණ කටයුතු සිදු කිරීමේදී විවිධ ගැටලුකාරී තත්වයන් පැවැතියේය.

මෙම කාලය තුළ නව මැතිවරණ මහලේකම් කාර්යාලයක් ඉදිකිරීම නිසා මෙතෙක් කුලී පදනමින් කාර්යාල ඉඩකඩ සපයා ගැනීම අවසන් විය. චන්ද්‍රානන්ද ද සිල්වා මහතාගේ ධූර කාලය තුළ පහත සඳහන් කරුණු වැදගත් වේ.

1. ප්‍රථම ජනමත විචාරණය පැවැත්වීම. (නව ජනමත විචාරණ පනත යටතේ)

2. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත සම්මත වීම හා ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම් නීතිය සම්මත වීම.

3. 1988 අංක 42 දරන පළාත් සභා පනත සම්මත කිරීම හා 1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත යටතේ ප්‍රථම පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම: පළාත් සභා ඡන්ද විමසීමේදී මනාප ක්‍රමය අලුතින් හඳුන්වා දෙන ලදී.

4. ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්වීම. ( ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පනත)

5. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම හා ඊට අදාළව පළාත් සභා ඡන්ද විමසීම් ආරම්භ වීම.

6. 1988 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම. මෙම මැතිවරණයද සමානුපාතික නියෝජන ක්‍රමය හා මනාප ක්‍රමය යටතේ පැවැත්විණි.

7. දෙවන පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීම.

8. දෙවන ජනාධිපතිවරණය පැවැත්වීම.

9. 1994 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම.

 

දයානන්ද දිශානායක මහතා - 1995.02.18 – 2011.03.26

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් වශයෙන් සේවය කළ දයානන්ද දිශානායක මහතා 1995.02.18 වන දින මැතිවරණ කොමසාරිස් ධූරයට පත්කරන ලදී.

2000, 2004  පාර්ලිමේන්තු මැතිවරණ, 2005, 2010 ජනාධිපතිවරණ, පළාත් සභා සහ පළාත් පාලන ඡන්ද විමසීම් රාශියක් මේ කාලයේ පැවැත්විණි.

මැතිවරණ දෙපාර්තමේන්තුව හා මැතිවරණ කොමසාරිස් තනතුර වෙනුවට "මැතිවරණ කොමිෂන් සභාවක්" පිහිටුවීම සඳහා 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නීතිමය ප්‍රතිපාදන සැලසිණ. ඒ අනුව සාමාජිකයන් 05කින් සමන්විත කොමිෂන් සභාවක් පිහිටුවිය යුතු විය.

මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවන තෙක් ධූරය දැරිය යුතු වූ හෙයින් බොහෝ කාලයක් එම ධූරයේ රැඳී සිටීමට දිශානායක මහතාට සිදුවිය. 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එම නීති ප්‍රතිපාදන ඉවත් කරන ලදී. ඒ අනුව 2011.03.25 දින දිශානායක මහතාට විශ්‍රාම ලැබිය හැකි විය.

 

මහින්ද දේශප්‍රිය මහතා - 2011.03.26- 2015.11.16

2011.03.26 වන දින හයවන මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් මහින්ද දේශප්‍රිය මහතා පත්වේ. 1983 සිට සහකාර මැතිවරණ කොමසාරිස්වරයෙකු, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකු හා අතිරේක මැතිවරණ කොමසාරිස්වරයෙකු වශයෙන් සේවය කළ දේශප්‍රිය මහතා ඉතා දිගු කලක් දෙපාර්තමේන්තුවේ අඛණ්ඩව සේවය කළ නිලධාරියෙකි. එමෙන්ම දෙපාර්තමේන්තුවේ අවසන් කොමසාරිස්වරයා වූයේද මහින්ද දේශප්‍රිය මහතාය.

මේ කාලය තුළ පහත දැක්වෙන  නවාංග රැසක් හා විශේෂ ක්‍රියාකාරකම් රැසක්  මැතිවරණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය යටතට එක් කරන ලදී.

1. මැතිවරණ හා ඡන්ද විමසීම් පැවැත්වීමේදී පොලීසිය ක්‍රියාකාරීව එම කටයුතු සඳහා යෙදවීම මගින් මැතිවරණ වැරදි හා නීති විරෝධී ක්‍රියා අවම කිරීම.

2. වසරක් පුරා සිදු කරන ලද ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනය හා සහතික කිරීම මාස 06 පමණ කාලයකින් නිම කිරීම.

3. මැතිවරණ පැමිණිලි විමර්ශනය කිරීමේ නව වැඩපිළිවෙලක් ජාතික හා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම.

4. "ඡන්දහිමියන්ගේ දිනය" වශයෙන් ජූනි මස 01 වන දින නියම කිරීම.

5. ඡන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම.

6. දකුණු ආසියානු මැතිවරණ බලධාරීන්ගේ සංසදයේ "සභාපති ධූරය" ලංකාවට ලැබීම.

7. මැතිවරණ දෙපාර්තමේන්තුවේ 60 වන සංවත්සරය පැවැත්වීම.

8. ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා හා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් රාශියක් පැවැත්වීම.

9. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ කොමිෂන් සභා පිහිටුවීම සඳහා නව නීති සම්පාදනය සිදු කිරීම: ඒ යටතේ මැතිවරණ කොමිෂන් සභාව සඳහා සභාපති ඇතුළු සාමාජිකයින් තිදෙනෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් 2015 නොවැම්බර් මස 13 වන දින පත්කරන ලදී. ඒ අනුව 2015 නොවැම්බර් මස 17 වන දින මැතිවරණ කොමිෂන් සභා සාමාජිකවරුන්  සිය ධූරයන්හි රාජකාරී භාර ගැනීමත් සමග කොමිෂන් සභාව පිහිටවුණු අතර මැතිවරණ දෙපාර්තමේන්තුව සිය හැටවන වියෙහිදී අහෝසි විය.