මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

ශිෂ්‍ය පාර්ලිමේන්තුව

ද්විතීයික පාසල්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ඡන්ද බලය පිළිබඳව දැනුවත් කිරීම කාලීන අවශ්‍යතාවක් බව මැතිවරණ කොමිෂන් සභාවට පෙනී ගිය හෙයින්, ඒ පිළිබඳව ක්‍රියාකිරීම් වස්, කොමිෂන් සභාවේ 2017/2020 සිවු අවුරුදු උපාය මාර්ගික සැලැස්මට එම වැඩසටහන ඇතුළත් කර, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය ඇතිව ද්විතීයික පාසල්වල "පුරවැසි අධ්‍යයන කව" පිහිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මූලික කටයුතු කරන ලද අතර, මේ සම්බන්ධයෙන් 2016 ජූලි මස අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලදුව, "පුරවැසි අධ්‍යයන කව" වෙනුවට අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්විම යටතේ ස්ථාපිත "ශිෂ්‍ය පාර්ලිමේන්තු" වැඩසටහන තවදුරටත් සමස්ත දිවයින පුරා ක්‍රියාත්මක කිරීම මඟින්, එකී ශිෂ්‍ය පාර්ලිමේන්තුව පිහිටුවීමට අදාළ චක්‍රලේඛයේ පැහැදිලිව දක්වා ඇති පරිදි ප්‍රජාතන්ත්‍රවාදය, එහි වැදගත්කම, ඡන්ද බලය, ඡන්දය භාවිතා කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කළ හැකි බව පෙනී ගිය හෙයින්, මැතිවරණ කොමිෂන් සභාව එකී "ශිෂ්‍ය පාර්ලිමේන්තු" වැඩසටහන සඳහා දායකත්වය ලබාදිමට කටයුතු කරන ලදී.

 

එහි මූලික පියවරක් ලෙස නියමු ව්‍යාපෘතිය මඟින් මහනුවර දිස්ත්‍රික්කයේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ඡන්ද බලය පිළිබදව දැනුවත් කිරිම සඳහා කටයුතු කරන ලදී.

ශිෂ්‍ය පාර්ලිමේන්තු වැඩසටහනේ අරමුණු

  1. *
    ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්ප හා ඒවායේ භාවිතය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීම
  2. *
    ජාතික අධ්‍යාපන පොදු අරමුණු හා පොදු නිපුණතා සමූහ ළඟා කර ගැනීම සඳහා ක්‍රියාකාරී අවස්ථා සම්පාදනය කිරිම
  3. *
    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ වලට අනුව සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා ජාතික වැඩසටහනක් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීම
  4. *
    ප්‍රාදේශීය හා ජාතික සංවර්ධනය අරමුණු කර ගනිමින් ජාතිය ගොඩනැගීමේ කාර්යය සඳහා පාසල් දරුවන් සෘජුව මැදිහත් කර ගැනීම
  5. *
    පාසල් දරුවන්ගේ නායකත්ව කුසලතා සංවර්ධනය කිරීම
  6. *
    පුරවැසි අධ්‍යාපන විෂය මගින් න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව පාසල් ප්‍රජාව තුළ සංවර්ධනය කිරීමට අපේක්ෂිත නිපුණතා වඩාත් ඵලදායීව හා ක්‍රියාකාරීව ඉටුකර ගැනීම

එහිදී, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සංකල්ප හා ඒවායේ භාවිතය පිළිබඳව පහත කාර්යයන් සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සහාය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ලබාදීම සිදු කෙරේ.

  • 1
    ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ඡන්ද බලය පිළිබද දැනුවත් කිරීම
  • 2
    පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ශිෂ්‍ය නියෝජිතයන් තෝරා පත්කර ගැනීම පහත පරිදි සිදු කරනු ලැබේ
  • *
    නාම යෝජනා කැඳවීම
  • *
    ඡන්ද විමසීම් පැවැත්වීම
  • *
    ඡන්දය ගණන් කිරීම හා ශිෂ්‍ය නියෝජිතයන් තෝරා පත්කර ගැනීම
  • ඒ තුළින්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අදහසක්  හා අත්දැකීම් නව පරපුරට ලබාගැනීමට අවස්ථාව සැලසේ.