මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

ඡන්ද ගණන් කිරීම

ඡන්දය පැවැත්වෙන දිනයේ ඒ ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානයට අයත් සියළුම ඡන්ද කොට්ඨාස වලින් අදාළ ඡන්ද පෙට්ටි ලැබීමෙන් අනතුරුව සාමාන්‍යයෙන් රාත්‍රී 7ට පමණ ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරේ‍. එක් දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් ගණන් කිරීමේ නියෝජිතයින් 5 දෙනෙකු ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට යෙදවිය හැකි අතර තැපැල් ඡන්ද ගණන් කිරීම සඳහා එක් පක්ෂයකට/කණ්ඩායමකට නියෝජිතයන් දෙදෙනෙකු බැගින් සහභාගී කරවිය හැකිය. තැපැල් ඡන්ද ගණන් කිරීම ඡන්ද විමසීමේ දින ප.ව. 4.30ට ආරම්භ කරනු ලැබේ. ඡන්ද පෙට්ටි බාර ගැනීමේ කටයුතු නිරීක්ෂණය සඳහා ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයින් අතුරින් එක් අයෙකුට ඡන්ද විමසීම් දින පස්වරු 3.00ට ගණන් කිරීමේ ශාලාවට පැමිණිය හැකි ය.

මුළු රටම එකම මැතිවරණ කොට්ඨාසයක් වන ජනාධිපතිවරණ සහ ජනමත විචාරණ වලදී හැර අනිකුත් ඡන්ද විමසීම් වලදී ප්‍රතිඵල අදියර දෙකකින් ප්‍රකාශයට පත් කෙරේ. පළමුව තැපැල් ඡන්ද ප්‍රතිඵලයද ඇතුළත්ව ඡන්ද ප්‍රදේශ හා දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ගණන් කිරීමේ ප්‍රතිඵලය සහ දෙවනුව එක් එක් අපේක්ෂකයා ලැබූ මනාප ගණන් කිරීමේ ප්‍රතිඵලය යනුවෙනි. මේ සෑම අවස්ථාවකදීම එක් එක් ඡන්ද ප්‍රදේශයක් (පෙර පැවති පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාස) යටතේ සහ අවසානයේ මැතිවරණ කොට්ඨාසයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කෙරේ. ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට පෙර තේරීම්භාර නිලධාරි ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගත යුතු ය.

සහකාර තේරීම්භාර නිලධාරීන්ගේ සහ සෙසු සහාය කාර්යය මණ්ඩලයේ සහාය ඇතිව අදාළ මැතිවරණ කොට්ඨාස වල තේරීම්භාර නිලධාරීහු (දිස්ත්‍රික් ලේකම්වරු)  ඡන්දය පැවැත්වීම සහ  ඡන්ද ගණන් කිරීම පරිපාලනය කරති. 

තැපැල් ඡන්ද ඇතුලත්ව ඡන්ද සහ මනාප ගණන් කිරීම තේරීම්භාර නිලධාරියා වෙත පැවරී ඇත.  මැතිවරණ කොට්ඨාසයක එක් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලියාපදිංචි ඡන්ද හිමියන් 10,000 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ.  මධ්‍යස්ථානයක ගණන් කිරීම ඇරඹෙන්නේ  එම මධ්‍යස්ථානයට අදාළ අවසන් ඡන්ද පෙට්ටිය සහ ඡන්ද මධ්‍යස්ථානයේ කලබල සිදුවීම් පිළිබඳ පරීක්ෂණ වාර්තාව එයට ලැබුණු පසුව ය.  කෙසේ වුවද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ගණන් කිරීම ඇරඹීමට ප්‍රථම මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඒ සඳහා පූර්ව අනුමැතියක් ලබා ගැනීම අවශ්‍ය වේ. කලබල සිදු වූ ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්දය ශූන්‍ය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය ඇති බැවින් මෙය වැදගත් වේ.  ප.ව. 4.00න් පසු තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ.

ඡන්ද ගණන් කිරීමේ ශාලාවේ ප්‍රධානියා, ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරී (CCO) ලෙස හැඳින්වේ. ඔහු/ ඇය රජයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙකු විය යුතු අතර සමාන්තර කලමනාකරණ සේවාවල 1 වන පන්තියේ හෝ විශේෂ පන්තියේ නිලධාරීන් මේ තනතුරට පත් කෙරේ. ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියාට සහය වීම සඳහා මාණ්ඩලික නිලධාරීන් හෙවත් සහකාර තේරීම්භාර නිලධාරීන් 6 දෙනෙකුවත් යොදවන අතර රජයේ සේවකයන් වූ 20 ත් 30ත් අතර කාර්ය මණ්ඩලයක්ද යෙදවේ. ඔවුන් විවිධ කාර්යාල වල/ පාසැල් වල සේවය කරන විවිධ වෘත්තිකයෝ වෙති.

 

ඡන්ද ගණන් කිරීමේ පරිපාටිය අදියර තුනක් යටතේ වර්ග කළ හැකිය.

අදියර I    -   එක් එක් ඡන්ද පෙට්ටියේ ඇති ඡන්ද පත්‍රිකා සංඛ්‍යාව ගණන් කිරීම සහ ඒවා බඳුනකට(ධාරකයකට) මාරු කිරීම.

අදියර II   -   ඡන්ද පත්‍රිකා ගණන් කිරීම සහ මැතිවරණ කොට්ඨාසයේ එක් එක් පක්ෂය සහ කණ්ඩායම ලද ඡන්ද සංඛ්‍යාව පිළිබඳ ප්‍රකාශය සැකසීම.

අදියර III  -  එක් එක් අපේක්ෂකයා ලද මනාප සංඛ්‍යාව සැසඳුම් පත්‍ර/ සාරාංශ පත්‍රවල සලකුණු කිරීමට අනුව ඡන්ද විමසීම සඳහා තරඟ කරන එක් එක් අපේක්ෂකයා ලද සම්පූර්ණ මනාප සංඛ්‍යාව ගණනය කිරීම.

 

අදියර I

(අ). එක් එක් පෙට්ටියේ ඇති ඡන්ද පත්‍රිකා ගණන් කිරීම සහ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති විසින් භාරදී ඇති ඡන්ද පත්‍රිකා විස්තරයේ (ඡන්ද පත්‍රිකා ගිණුම) සංඛ්‍යා සමඟ එය සංසන්දනය කෙරේ. මෙම ගිණුමේ පිටපතක් ඡන්ද පොලේදී පක්ෂ නියෝජිතයන්ට ලබා දෙන අතර යම් කිසි ඡන්ද පෙට්ටියක ඇති ඡන්ද සංඛ්‍යාව හා ඡන්ද පත්‍රිකා ගිණුමේ ගණන් අසමානතාවක් වේ නම් නැවත ගණන් කිරීම් සිදු කෙරෙන අතර, කිහිප වරක් ගණන් කිරීමෙන් පසුවද අසමානතාව එලෙසම පවතීනම් පෙට්ටියේ ඇති ඡන්ද සංඛ්‍යාව නිවැරදි සේ සලකා ඉදිරි කටයුතු කරනු ලැබේ. ඉන් පසුවද මෙහි අසමානතාවක් වේ නම්, වැඩි හෝ අඩු ලෙස, එය සටහන් කර ගණන් කිරීම අවසන් කළ යුතු වේ.

(ආ). පෙට්ටියේ ඇති ඡන්ද පත්‍රිකා ගණන් කර ඡන්ද පත්‍රිකා විස්තරයේ අඩංගු සංඛ්‍යා සමඟ සත්‍යාපනය කළ යුතු වේ.  ඉන් පසු අදාළ විස්තර සමඟ එය නියමිත ආකෘතියේ සටහන් කළ යුතු ය.  මෙම ක්‍රියාදාමය සියලුම ඡන්ද පෙට්ටි ගණන් කර අවසන් වන තෙක් කළ යුතු ය.

 

අදියර II

(අ). II අදියර උප අදියර දෙකකට බෙදේ.

1 වන උප අදියර යටතේ සියලුම කාර්ය මණ්ඩලය යොදවා ධාරකයේ ඇති ඡන්ද පත්‍රිකා මේසය මතට ගෙන පක්ෂ/ කණ්ඩායම් අනුව තේරීම සිදු කෙරේ. එහිදී සලකුණු කර නැති හෝ සලකුණු කිරීම අවිනිශ්චිත ඡන්ද පත්‍රිකා වෙනම තෝරනු ලබන අතර එම අවිනිශ්චිත ඡන්ද පත්‍රිකා පිළිබඳව ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරී ක්‍රියා කරනු  ඇත.

2 වන උප අදියර යටතේ එක් එක් පක්ෂයට/ කණ්ඩායමට අදාළ ඡන්ද පත්‍රිකා මතු සඳහන් පරිදි නැවත තේරීමක් කර ගණන් කරනු ලැබේ.

තේරීම  - එක් එක් පක්ෂය/ කණ්ඩායමට අනුව 1 වන උප අදියරේදි තෝරන ලද ඡන්ද පත්‍රිකා වල නිරවද්‍යතාව නැවත බැලීම.

ගණන් කිරීම - එකම පක්ෂයට/ කණ්ඩායමට අදාළ ඡන්ද පත්‍රිකා 50 බැගින් ගණන් කොට මිටි සෑදිම

පරීක්ෂා කිරීම - ඡන්ද පත්‍රිකා එකම පක්ෂයට/ කණ්ඩායමට අයත්ද යන්න හා මිටියේ ඡන්ද පත්‍රිකා 50ක් ඇත්ද යන්න පරීක්ෂා කිරීම

නැවත පරීක්ෂා කිරීම - ඡන්ද පත්‍රිකා එකම පක්ෂයට/ කණ්ඩායමට අයත්ද යන්න හා ඡන්ද පත්‍රිකා 50ක් ඇත්ද යන්න නැවත පරීක්ෂා කිරීම.

සුපිරි පරික්ෂාව (අහඹු පරික්ෂාව) - නැවත පරික්ෂා කරන ලද ඡන්ද පත්‍රිකා 50ක් අඩංගු මිටි 10ක් ගෙන 500 මිටි සකස් කරන අතරතුර ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරි/ සහකාර තේරීම්භාර නිලධාරි විසින් අහඹු ලෙස ඡන්ද පත්‍රිකා 50 මිටි කිහිපයක් ගෙන පක්ෂය/ කණ්ඩායම නිවැරදිද හා ඡන්ද පත්‍රිකා 50ක් ඇත්ද යන්න තහවුරු කිරීම සඳහා කරන පරික්ෂාවයි. ඡන්ද පත්‍රිකා 50 මිටි 10ක් එකතු කොට 500 මිටි ලෙස සකස් කර රබර් බෑන්ඩ් යොදා පක්ෂ/ කණ්ඩායම් අනුව බඳුන්වල බහාලනු ලැබේ.

(ආ). එක් එක් පක්ෂයට හෝ කණ්ඩායමට දෙන ලද ඡන්ද අනුව  ඡන්ද පත්‍රිකා තේරීමේ දී කවර පක්ෂයකට හෝ කණ්ඩායමකට අයත් විය යුතුද යන්න පිළිබඳව සැක සහිත හෙවත් අවිනිශ්චිත ඡන්ද පත්‍රිකාවක් වේ නම් එහි වලංගුතාව තීරණය කිරීමට ප්‍රධාන ගණන්කිරීමේ නිලධාරියා වෙත ලබාදිය යුතු ය.  ඡන්ද ගණන් කිරීම අවසන් වන තෙක් නොසිට ඔහු වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාවේදිම අවිනිශ්චිත ඡන්ද පත්‍රිකා පිළිබඳව ඔහුගේ තීරණය පක්ෂ නියෝජිතයන්ද දැනුවත් කරමින් ලබාදෙන ලෙසට ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීන්ට සෑම විටම උපදෙස් ලබාදී ඇත.  වලංගු ඡන්ද පත්‍රිකා 50 මිටි ලෙස සකසා ඉන්පසු එම ඡන්ද පත්‍රිකා 500 මිටි ලෙස සකස් කර, ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරීගේ මේසය මත ඇති එක් එක් පක්ෂයට/ කණ්ඩායමට අදාළ පෙට්ටියකට හෝ බන්දේසියකට දමනු ලැබේ.  මෙම අදියර අවසන් වූ පසු ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරියා විසින් එක් එක් පක්ෂය/ කණ්ඩායම ලබාගත් ඡන්ද සංඛ්‍යාව පිළිබඳ ප්‍රකාශය සකස් කරනු ලැබේ.

(ඇ). මෙම අදියරේදී ප්‍රතිඵලය පිළිබඳව තෘප්තිමත් නොවන ගණන් කිරීමේ නියෝජිතයින්ට නැවත ගණන් කිරීමක් ඉල්ලා සිටිය හැකි අතර, පක්ෂ/ කණ්ඩායම් නියෝජිත ඉල්ලීම මත නැවත ගණන් කිරීමේ උපරිම වාර ගණන දෙකකි. අවශ්‍ය යැයි හැඟේ නම් නියෝජිතයන්ගේ ඉල්ලීමකින් තොර වුවද ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරී හට නැවත ගණන් කිරීමක් හෝ කිරීම් සිදුකළ හැකිය.

(ඈ). ගණන් කිරීමේ ශාලාවෙන් එක් එක් පක්ෂයට/ කණ්ඩායමට ලැබුණු ඡන්ද සංඛ්‍යාව ඇතුළත් ප්‍රකාශය ලද පසු තේරීම්භාර නිලධාරි විසින්  සම්පූර්ණ දිස්ත්‍රික්කය සඳහා ඒ ඒ පක්ෂ/ කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව පිළිබඳ අවසන් ප්‍රකාශය සකසන අතර, එම ප්‍රකාශය මත පදනම්ව තරඟ කළ පක්ෂ සහ කණ්ඩායම් වලින් එම දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තෝරාපත් විය යුතු සංඛ්‍යාව තීරණය කරනු ලැබේ.

 

අදියර III

(අ). මේ අදියරේදී අපේක්ෂකයින් සඳහා සලකුණු කරන ලද මනාප ගණන් කරනු ලැබේ. මේ අදියර ආරම්භ වන විට පක්ෂ/ කණ්ඩායම් ලෙස 50 හා 500 මිටි වශයෙන් ඡන්ද පත්‍රිකා නියමිත බඳුන් වල තබා ඇත

(ආ). එම ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ඒ ඒ පක්ෂ/ කණ්ඩායම් ලබාගත් ඡන්ද අතුරින්, වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයේ/ කණ්ඩායමේ ඡන්ද පත්‍රිකා ගණන් කිරීමෙන් මනාප ගණන් කිරීම ආරම්භ වේ. මනාප ගණන් කිරීම සඳහා වලංගු නොවන ඡන්ද පත්‍රිකා තෝරා ගැනිම සඳහා මනාප සටහන් කිරීම ඇරඹීමට පෙර මෙම ඡන්ද පත්‍රිකා නැවත තේරීම කළ යුතු ය. මනාප වලංගු නොවන ගණයට අයත් ඡන්ද පත්‍රිකා පහත සඳහන් පරිදි වේ.

  1. මනාප සටහන් නොකළ - No P
  2. අපේක්ෂකයන් තුන්දෙනෙකුට වඩා වැඩි ගණනකට මනාප සලකුණු කළ - P3+
  3. මනාප අවිනිශ්චිත බව නිසා අවලංගු වන ඡන්ද පත්‍රිකා ඇතුළත් වේ. - P Void.

මනාප වලංගු ඡන්ද පත්‍රිකා පහත පරිදි වර්ග කරනු ලැබේ.

  1. එක් වලංගු මනාපයක් පමණක් සහිත ඡන්ද පත්‍රිකා - P-1
  2. වලංගු මනාප දෙකක් පමණක් සහිත ඡන්ද පත්‍රිකා -  P-2
  3. වලංගු මනාප තුනක් පමණක් සහිත ඡන්ද පත්‍රිකා  - P-3

(ඇ). මනාප වලංගු ඡන්ද පත්‍රිකා ගණන් කර, නැවතත් 50 මිටි ලෙස සකසා රබර් පටි, කඩදාසි දවටන සහ බුල්ඩෝග් ක්ලිප් යෙදිය යුතු වේ. එක් සැසඳුම් නිලධාරියෙකු විසින් 50 මිටියක ඇති සෑම ඡන්ද පත්‍රිකාවක්ම පරීක්ෂා කර බලා එක් එක් අපේක්ෂකයා විසින් ලද මනාප සංඛ්‍යාව සැසඳුම් පත්‍රයේ එක් එක් අපේක්ෂකයාට නියමිත කොටුවේ සලකුණු කළ යුතු වේ. මෙම සටහන නිල් පෑනකින් කළ යුතු වේ

(ඈ). ඡන්ද පත්‍රිකා 50 මිටියකට අදාළ මනාප සටහන් කර අවසන් කළ පසු ඒ සෑම ඇතුළත් කිරීමක්ම නිවැරදි දැයි පරීක්ෂා කිරීම පිණිස මේසයේ විරුද්ධ පස සිටින කවර හෝ නිලධාරියෙකුට එය ලබාදිය යුතු ය. එම නිලධාරියා රතු පෑනක් භාවිතා කළ යුතු අතර ඔහු පරීක්ෂා කළ බව සනාථ වන ලෙස සෑම ඇතුළත් කිරීමක්ම සලකුණු කළ යුතු වේ. පිළියෙළ කළ බවට, පරීක්ෂා කළ බවට අදාළ නිලධාරින් තම අත්සන හා නම ආකෘතියේ තැබිය යුතු ය.

(ඉ). මෙම පරීක්ෂාව අවසානයේ දී එක් එක් සැසඳුම් පත්‍රයේ එකතුව පළමු සාරාංශ පත්‍රයේ ඇතුළත් කර නැවත එකතු කර මේසයේ ඊළඟ අදියර වෙත සැසඳුම් පත්‍ර සමඟ මෙම මිටි යවනු ලැබේ. සටහන් තබන නිලධාරින් තම නම සහ අත්සන අදාළ ආකෘතියේ තැබිය යුතු ය.

(ඊ). මෙම පළමු සාරාංශ පත්‍ර ඒවායේ එකතුව දෙවන සාරාංශ පත්‍රයේ ඇතුළත් කරනු පිණිස මේසයේ ඊළඟ අදියර වෙත යවනු ලැබේ. සාරාංශ පත් දෙකට අනුව එක් එක් අපේක්ෂකයා ලබාගත් මනාප වල එකතුව, එම ගණන් කිරීමේ මධ්‍යස්ථානය වෙනුවෙන් මනාප වල අවසන් එකතුව වේ. එක් එක් පක්ෂයක්/ කණ්ඩායමක් වෙනුවෙන් දෙවන සාරාංශ පත්‍ර සම්පූර්ණ කර අවසන් කළ පසු ගණන් කිරීමේ නිලධාරියා විසින් තම අත්සන හා සාක්ෂි ලෙස තවත් සහකාර තේරීම්භාර නිලධාරියෙකුගේද අත්සන යොදා නියමිත කවරයේ බහා මුද්‍රා තබා තේරීම්භාර නිලධාරි වෙත යවනු ලැබේ. සෑම පක්ෂයක් සහ කණ්ඩායමක් ම ලද මනාප සංඛ්‍යාව වෙන් වෙන් ව සකසා තේරීම්භාර නිලධාරියා වෙත භාරදෙන තෙක් මෙම අභ්‍යාසය අඛණ්ඩව සිදු කළ යුතු ය. මේ අදියර අවසානයේදී ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ඡන්ද සහ මනාප ගණන් කිරීම නිමාවට පැමිණේ.

(උ). එක් එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ මනාප පිළිබඳ ප්‍රකාශය ලද පසු තේරීම්භාර නිලධාරියා විසින් එක් එක් අපේක්ෂකයා දිස්ත්‍රික්කය වෙනුවෙන් ලද මනාප පිළිබඳ අවසන් ප්‍රකාශය සකසනු ලැබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබාදුන් පසු ප්‍රතිඵල ප්‍රාදේශීයව ප්‍රකාශයට පත් කිරීම තේරීම්භාර නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ.  සියලුම මැතිවරණ සහ ජනමත විචාරණ වලදී ගුවන් විදුලි හා රූපවාහිනි මඟින් ජාතික වශයෙන් ප්‍රතිඵල ප්‍රකාශ කිරීම රාජගිරියෙහි පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී සිදුකෙරේ.