මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

ඡන්දහිමියන්ගේ දිනය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති ජනතා පරමාධිපත්‍යයට අදාළ සර්වජන ඡන්ද බලය සුරකිනු වස්, ඡන්දහිමියන් වීමට සුදුසුකම් ලබන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ නම් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය සඳහා කටයුතු කිරීම අත්‍යාවශ්‍යය. ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිවීමට අදාළව, මූලික සුදුසුකම් සහ නාමලේඛනයේ නම ඇතුළත් කර ගැනීමේදී අනුගමනය කළයුතු පියවර පිළිබඳව දීපව්‍යාප්තව මහජනතාව දැනුවත් කිරීම සඳහා සෑම වර්ෂයකම පෙබරවාරි මස පළමුවන දිනය ඡන්දහිමියන්ගේ දිනය ලෙස සළකා පසුගිය වර්ෂ කිහිපය මුළුල්ලේම මැතිවරණ දෙපාර්තමේන්තුව/ මැතිවරණ කොමිෂන් සභාව විසින් දියත් කරන ලදි.

2013 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයේදී “ඡන්දය ඔබේ අයිතියයි” ලෙසද, 2014 ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයේදී “ඡන්දය ඔබේ අයිතියයි, ඔබේ බලයයි” ලෙසද, 2015 වර්ෂයේදී “ජනතා පරමාධිපත්‍යය සැබෑ ලෙසම ක්‍රියාත්මක වන්නේ සර්වජන ඡන්ද බලය නිදහස් හා සාධාරණ ලෙස භාවිතාවේ යෙදිය හැකිනම් පමණකි” යන තේමා පාඨය යටතේද 2016 වර්ෂයේ “කිසිඳු ඡන්දහිමියකු අත්නොහැරෙන මැතිවරණ ක්‍රියාවලියක්” යන තේමා පාඨය යටතේද 2017 වර්ෂයේදී “ඡන්දය ඔබේ අයිතියකි. එයටත් වඩා ඔබේ වගකීමකි” යන තේමා පාඨය යටතේද ඡන්දහිමියන්ගේ දිනය පැවැත්වුණි.

ඡන්දහිමියකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් වන ශ්‍රී ලංකාවේ පුරවැසියකු වීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වීම සහ ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය සඳහා අයදුම්කරන ලිපිනයේ සාමාන්‍ය පදිංචිය යන මූලික අවශ්‍යතා සියල්ලම සඳහා යම් වර්ෂයක පෙබරවාරි මස පළමු දිනය සැලකෙන බැවින්, ඡන්දහිමියන්ගේ දිනයේදී, සියලු පාර්ශවයන්ගේ සහාය ප්‍රතිශෝධනයට අදාළව මහජනතාව දැනුවත් කිරීම සඳහා වූ කාර්යයට ලබා ගැනීමට කටයුතු කෙරේ.

මේ අනුව, සියලුම දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් මට්ටමින් ඡන්දහිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළ අතර, ඒ සඳහා අනෙකුත් රජයේ නිලධරයන්/ ප්‍රජාමූල සංවිධාන වල නියෝජිතයන්ගේ අනුග්‍රාහකත්වයෙන් හා සහභාගීත්වයෙන්, දේශන පැවැත්වීම, වීදි නාට්‍ය රඟ දැක්වීම, බැනර්, පෝස්ටර් ආදිය ප්‍රදර්ශනය කිරීම්, අත් පත්‍රිකා බෙදිම, පාසැල් ළමුන් අතර චිත්‍ර/ රචනා/ කථික තරඟ පැවැත්වීම හා ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සිදුකෙරේ.

ඡන්දහිමියන්ගේ දිනයට අදාළව දීප ව්‍යාප්තව මහජනතාව දැනුවත් කිරීම සඳහා මතු දැක්වෙන වැඩසටහන් මාලාවක් සෑම වර්ෂයකම ක්‍රියාත්මක කෙරේ.

  1. *
    සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි දැන්වීම්/ බැනර් ප්‍රදර්ශනය මගින් දැනුවත් කිරීමේ කටයුතු හා අත් පත්‍රිකා බෙදීම සිදුකිරීම.
  2. *
    තැපැල් ඡන්ද ඉල්ලීමේ හිමිකමක් නොමැති අවස්ථාවක,ඡන්දහිමි නාමලේඛනයේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ පා ගමන් පැවැත්වීම.
  3. *
    පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර චිත්‍ර/රචනා/කථික/පැන විසඳුම් තරඟ පැවැත්වීම.
  4. *
    කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය.
  5. *
    පටිගත කළ හඬපට / ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ප්‍රචාරය කිරීම.
  6. *
    මගීන් ප්‍රවාහනය සිදුකරන ත්‍රී රෝද රථවල සහ පෞද්ගලික බස් රථවල ස්ටිකර් ඇලවීම සහ මහජනයා වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වල පෝස්ටර් ප්‍රදර්ශනය සහ අත් පත්‍රිකා බෙදීම.
  7. *
    ඩිජිටල් පුවරු සහ ඩිජිටල් තිර මගින් ඡන්දහිමි නාමලේඛනයේ වැදගත්කම පිළිබඳව පණිවුඩය විකාශනය කිරීම.
  8. *
    ඡන්දහිමි නාමලේඛනයේ වැදගත්කම පිළිබඳව වේදිකා නාට්‍ය හා වීදි නාට්‍ය රඟ දැක්වීම.
  9. *
    අඬබෙර වාදකයින් යොදවා ඡන්දහිමි නාමලේඛනයේ වැදගත්කම පිළිබඳ සංදේශයක් කියවීම.
  10. *
    කේබල් ටී.වී. හරහා දැන්වීම් ප්‍රචාරය කිරීම සහ පුවත්පත් දැන්වීම් පලකිරීම.
  11. *
    කාර්මික විද්‍යාල හා යොවුන් නිකේතනවල අභ්‍යාසලාභීන්, වෘත්තිය අධ්‍යාපනය හදාරණ තරුණ කොටස්, සිවිල් සංවිධාන/ ප්‍රජා මූල සංවිධාන සහ මාධ්‍යවේදීන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තීන් ඇතුළු සියලු දෙනා දැනුවත් කිරීම.