මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

තැපෑලෙන් ඡන්දය දීම

    සාමාන්‍ය කරුණු

තැපැල් ඡන්ද පහසුකම් සැලසිය යුත්තේ කවර පාර්ශව වලටද ?

  1. *
    මැතිවරණ රාජකාරි පැවරීමට ඉඩ ඇතැයි සලකන රාජ්‍ය නිලධාරීන්
  2. *
    අත්‍යවශ්‍ය සේවාවන්හි සේවයේ නියුතු නිලධාරීන්, සේවකයින්
  3. *
    ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකාය යටතේ දිවයිනේ සියලුම ප්‍රදේශවල ආරක්ෂක කටයුතු වල නිරත පුද්ගලයින්

තැපැල් ඡන්ද අයදුම් කිරීමේදී තැපැල් ඡන්ද දායකයින්ගේ පහසුව සඳහා ලියාපදිංචි ඡන්ද හිමියන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි ක්‍රම මොනවාද?

  1. *
    දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ඡන්ද විමසීම් පැවැත්වෙන දිස්ත්‍රික්කවලට අදාළ සියළුම ඡන්දහිමි නාමලේඛන‍ ප්‍රදර්ශනය කෙරේ.
  2. *
    ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදාළ ලේඛන ප්‍රදර්ශනය කෙරේ.
  3. *
    සියළුම ග්‍රාම නිලධාරී කාර්යාලවල ග්‍රාම නිලධාරී වසමට අදාල කොටසේ නාමලේඛන ප්‍රදර්ශනය සඳහා තබා ඇත.
  4. *
    ඡන්දහිමි නාමලේඛනය ප්‍රතිශෝධනයේ දී ගෘහයෙන් ගෘහයට බෙදා ඇති බීසී ආකෘති පත්‍රයේ ලදුපතෙහි අලවා ඇති ඡන්දහිමි නාමලේඛනයේ ඒ ඒ ගෘහයට අදාළ ලියාපදිංචි ඡන්ද හිමියන් ගේ ලැයිස්තුව මගින් ද තොරතුරු ලබාගත හැකිය.
  5. *
    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919 දුරකථන අංකය අමතා ද ලියාපදිංචි ඡන්ද හිමියන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි අතර එහිදී අදාළ ඉල්ලුම්කරු විසින් ඔහුගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය, පදිංචි දිස්ත්‍රික්කය හා ග්‍රාම නිලධාරී වසම පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචියට අදාළ ඡන්ද කොට්ඨාස අංකය සහ අනුක්‍රමික අංකය ලබාගත හැකිය.

තැපැල් ඡන්දදායකයෙකු වශයෙන් සලකනු ලැබීම සඳහා කරන ලද ඉල්ලීම පිළිනොගන්නා (ප්‍රතික්ෂේප වන ) අවස්ථා මොනවාද?

  1. *
    අයදුම්පතේ පරිපාලන දිස්ත්‍රික්කය වැරදි ලෙස සඳහන් කර ඇති විට,
  2. *
    තැපැල් ඡන්ද ඉල්ලීමේ හිමිකමක් නොමැති අවස්ථාවක,
  3. *
    අයදුම්පතේ සඳහන් තොරතුරු ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි තොරතුරු හා නොගැලපෙන විට,
  4. *
    නමට ඇති අනුක්‍රමික අංකය අයදුම්පතේ නිවැරදිව සඳහන් කර නොමැති විට,
  5. *
    ඉල්ලුම්කරු ඉල්ලුම්පත අත්සන් කර නොමැති අවස්ථාවක,
  6. *
    සහතික කිරීමේ නිලධාරී අයදුම්පත සහතික කර නොමැති අවස්ථාවක,
  7. *
    තේරීම්භාර නිලධාරී වෙත අයදුම්පත ප්‍රමාද වී ලැබීම නිසා,
  8. *
    ඡන්ද විමසිම් රාජකාරි සඳහා යොදවා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති විට

තැපැල් ඡන්ද අයදුම්පත පිළිගත් ‍බව හෝ නොපිළිගත් බව දැන ගත හැකි ක්‍රමය කුමක්ද?

  1. *
    සෑම තැපැල් ඡන්ද අයදුම්පතක් සම්බන්ධයෙන්ම අයදුම්පත පිළිගත් බව හෝ නොපිළිගත් බව දන්වා යවනු ලැබේ.
  2. *
    මෙම ලිපිය සහතික කිරීමේ නිලධාරීට පිටපතක් ‍සහිතව අදාළ ඡන්ද හිමියා වෙත යවනු ලබයි.
  3. *
    අවශ්‍යයයි තීරණය කරනු ලබන අවස්ථාවන්හිදී අදාළ ලිපියේ පිටපතක් ඡන්ද හිමියාගේ පෞද්ගලික ලිපිනය වෙත ද යැවේ.

තැපැල් ඡන්ද නිකුත් කිරීමේ දී පැමිණ සිටිය හැකි අය කවුරුන්ද?

  1. *
    තැපැල් ඡන්ද නිකුත් කිරීමේ කාර්ය මණ්ඩලය.
  2. *
    තරඟ කරනු ලබන අපේක්ෂකයකුගේ ඡන්ද නියෝජිත/ බලයලත් නියෝජිත හෝ පත් කරනු ලබන නියෝජිත එක් අයෙක්.

තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ හැක්කේ කුමන අවස්ථාවේදීද?

  1. *
    තැපැල් ඡන්ද නාම ලේඛනයේ සඳහන් නම් දෙකක් එකම තැනැත්තාට අයත් බවට පෙනී යන විට හෝ අන්‍ය ආකාරයකින් ඒ බව ඒත්තු යන අවස්ථාවක.

තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදාලව රහස්‍යතා ප්‍රකාශ අත්සන් කරවා ගත යුත්තේ කවර පුද්ගලයින්ගෙන්ද?

  1. *
    තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙතින්,
  2. *
    තැපැල් ඡන්ද සහතික කිරීමේ නිලධාරියා තේරීම් භාර නිලධාරී / සහකාර තේරීම් භාර නිලධාරී වෙතින් හෝ තමා විසින්ම.

තැපැල් ඡන්ද රාජකාරීන්හි යෙදෙන නිලධාරීන්ට අදාල කරුණු

තැපැල් ඡන්ද සලකුණු කිරීමට නියම කරන ලද දිනය/ දිනයන්හි තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු (PV – D කවර ) වලට කුමක් කළ යුතුද?

පසු දිනම අදාල කාර්යාලය පවතින දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයට බාර දිය යුතුය.

ඒ සඳහා භාවිත කරන ආකෘතිය කුමක්ද?

PV/RT ආකෘතිය

තේරීම්භාර නිලධාරී විසින් සෑම තැපැල් ඡන්ද දායකයෙකු වෙතම (ඔහු / ඇය සහතික කිරීමේ නිලධාරියෙක් නම් ඔහු / ඇය වෙතද සහතික කිරීමේ නිලධාරියෙක් නොවන අයෙක් නම් ඔහුගේ / ඇයගේ සහතික කිරීමේ නිලධාරි මඟින් ද) යැවිය යුතු ලිපි ලේඛන මොනවාද?

  1. *
    ඡන්ද පත්‍රිකාව
  2. *
    නිකුත් කරන ලද ඡන්ද පත්‍රිකාවේ මුද්‍රණය කර ඇති අංකය සටහන් කරන ලද අනන්‍යතා ප්‍රකාශය
  3. *
    “බී” කවරය – ලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව බහාලීම සඳහා වන කවරය. (නිකුත් කරන ලද ඡන්ද පත්‍රිකාවේ අංකය සඳහන් කර ඇත.)
  4. *
    “ඒ” කවරය – ඉල්ලුම්කරු විසින් ඡන්දය දෙනු ලැබීමෙන් පසුව ලියවිලි ආපසු තේරීම් භාර නිලධාරී වෙත එවීම සඳහා තේරීම්භාර නිලධාරීගේ ලිපිනය ලියූ හා තැපැල් ඡන්ද දායකයාගේ අනු අංකය ලියන ලද කවරය.
  5. *
    “ඒ” කවරය ආපසු එවීමට භාවිතා කරන ස්ටිකරය (රිදී පැහැති)

සහතික කිරීමේ නිලධාරීගේ වගකීම සහ කාර්යභාරය කුමක්ද?

  1. 1
    සහතික කිරීමේ නිලධාරීගේ අධීක්ෂණය යටතේ රාජකාරී කරන තැපැල් ඡන්ද හිමියකු වශයෙන් සුදුසුකම් ලබා ඇති අයගේ තැපැල් ඡන්ද අයදුම්පත් සහතික කළ යුතුය. (අයදුම්පතෙහි සම්පූර්ණ කරන ලද කොටස් නැවත සංශෝධනය කළහොත් එම ස්ථාන ද සහතික කිරීමේ නිලධාරීගේ අත්සන යොදා සහතික කළ යුතුය.) තමන් විසින් සහතික කරනු ලබන තැපැල් ඡන්ද අයදුම්පත්, ඉදිරිපත් කරනු ලැබූ තැනැත්තන්ට තැපෑලෙන් ඡන්දය දීමේ හිමිකම් ඇති බවටත්, ඉල්ලුම්කරුවන්ගේ අනන්‍යතාව පිළිබඳව සෑහීමකට පත්වන බවටත් සහතික කිරීමේ නිලධරයා නිසැක විය යුතුය.
  2. 2
    එදිනෙදා ලැබෙන අයදුම්පත් සහතික කර වහාම අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත තැපෑලෙන් එවීමෙන් හෝ රැගෙනවිත් බාරදීම මගින් හෝ එවිය යුතුය. සහතික කරනු ලැබූ අයදුම්පත් නියමිත කාල සීමාව තුළ ලැබෙන සේ එවීම සහතික කිරීමේ නිලධාරීන්ගේ වගකීම වේ.
  3. 3
    තමා විසින් සහතික කරනු ලැබූ අයදුම්පත් පිළිබඳව සහතික කිරීමේ නිලධාරී ජර්නලයේ අවශ්‍ය සටහන් තැබිය යුතුය. ජර්නල ලබා ගැනීම ප්‍රමාද වන බව පෙනීයන්නේ නම් තමන් විසින් සහතික කරන ලද අයදුම්පත් පිළිබඳව සටහන් තබා ගැනීමට CR ලේඛනයක් නඩත්තු කිරීම යෙහෙකි.
  4. 4
    අයදුම්පත් පිළිගත්/ නොපිළිගත් බව දන්වමින් තේරීම්භාර නිලධාරීන් විසින් එවනු ලබන ලිපි අතුරින් අදාළ ඡන්ද හිමියාගේ පිටපත නොපමාව ඔහු හෝ ඇය වෙත භාරදිය යුතුය.
  5. 5
    සහතික කළ අයදුම්පත් වෙනුවෙන් ලැබෙන රක්ෂණ පැකැට්ටු ආරක්ෂිතව ගබඩා කිරීම හා නියමිත දින අදාළ ඡන්ද හිමියා ලවා සලකුණු කරවා එදිනම රක්ෂණ තැපෑලෙන් අදාළ තේරීම්භාර නිලධාරී වෙත යැවීමට කටයුතු කළයුතු වේ.
  6. 6
    ඡන්ද පත්‍රිකා සලකුණු කරනු ලබන දිනයෙහි නිරීක්ෂණය සඳහා තරඟ කරන පක්ෂ සහ කණ්ඩායම් වල නියෝජිතයින් කැඳවිය යුතුවේ.
  7. 7
    මැතිවරණ කොමිෂන් සභාව විසින් නියමකර ඇති දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොපැමිණි ඡන්ද දායකයන්ගේ පැකැට්ටු ඊට පසුදිනම ස්වකීය කාර්යාලය පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ගෙනගොස් භාරදිය යුතුය.
  8. 8
    සහතික කිරීමේ නිලධාරිගේ ජර්නලය තේරීම් භාර නිලධාරීගේ උපදෙස් පරිදි බාරදීමට අවශ්‍ය පියවර ගත යුතුය.

තැපැල් ඡන්ද නිකුත් කිරීම් කටයුතු සම්බන්ධව ගත යුතු ක්‍රියා මාර්ග මොනවාද?

  1. *
    නි‍යෝජිතයින්ට දැනුම් දුන් වේලාව ඉක්ම වූ වහාම කටයුතු ඇරඹිය හැකි ය.
  2. *
    ඊට පෙර පැමිණ සිටින නියෝජිතයන්ගේ පත්වීම් ලිපි පරීක්ෂා කර පැමිණීම සටහන් කර ගත යුතුය.
  3. *
    හිස් තැපැල් ඡන්ද පෙට්ටි නියෝජිතයින්ට පෙන්වා ඔවුන් ඉදිරිපිටදී මුද්‍රා තැබිය යුතුය.
  4. *
    නිකුත් කිරීමේ මධ්‍යස්ථානයට අවශ්‍ය සියළුම දෑ කල් තබා සූදානම් කර ගත යුතුවේ.
  5. *
    ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම නිරීක්ෂණය කිරීමට පැමිණෙන නියෝජිතයින්ට ඒ සඳහා අවස්ථාව සැලසීම අවශ්‍යය.
  6. *
    සහකාර තේරීම්භාර නිලධාරී විසින් කාර්ය මණ්ඩලයෙන් සහ නියෝජිතයින්ගෙන් “ඇ” ආකෘතියෙහි වූ රහස්‍යතා ප්‍රකාශය ලබා ගත යුතුය.
  7. *
    අනතුරුව ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ඇරඹිය හැකිය. ඡන්ද පොළේදී මෙන් මෙහිදී ද ඡන්ද දායකයාගේ අනුක්‍රමික අංකය සහ නම ශබ්ද නගා කියවිය යුතුය.
  8. *
    මෙහිදී අනුක්‍රමික අංකය වන්නේ එක් එක් ඡන්ද ‍ප්‍රදේශය අනුව සකස් වූ තැපැල් ඡන්ද නාමලේඛනයෙහි සඳහන් අනුක්‍රමික අංකය වේ.

තැපැල් ඡන්ද පැකට්ටු සම්බන්ධයෙන් සහතික කිරීමේ නිලධාරී වෙත පැවරෙන වගකීම් මොනවාද?

  1. *
    සහතික කිරීමේ නිලධාරීන් විසින් තම කාර්යාලයේ/ ආයතනයෙහි තැපෑල භාරව කටයුතු කරන නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර තමාගේ නමට ලැබෙන ලිපි විවෘත කිරීමකින් තොරව කෙලින්ම තමාට ලැබෙන පරිදි වැඩ පිළිවෙළ සකස් කළ යුතුය.
  2. *
    තමා වෙත තැපැල් මගින් ලැබෙන රක්ෂණ පැකට්ටු විවෘත කිරීමකින් තොරව සුරක්ෂිතව ගබඩා කර ගත යුතුය.
  3. *
    තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා නියම කර ඇති දින දෙකට අදාළව එක් එක් දිනයට කැඳවන තැපැල් ඡන්දදායකයින් නම් වශයෙන් තීරණය කර නිලධාරීන්ට කල්තබා දැනුම් දිය යුතුය.
  4. *
    එම කටයුතු නිරීක්ෂණය සදහා නියෝජිතයකු බැගින් සහභාගී කරවන ලෙස තරඟ කරන පක්ෂ ලේකම්/ බලයලත් නියෝජිතයන්ට සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත දැනුම් දිය යුතුය.
  5. *
    තැපැල් ඡන්ද දායකයින් වශයෙන් පැමිණෙන පුද්ගලයන්ගේ ඡන්ද පත්‍රිකා අඩංගු පැකට්ටු විවෘත කිරීමට පෙර ඡන්දදායකයාගේ හැඳුනුම්පත අනුව අනන්‍යතාවය තහවුරු කර ගැනීම අත්‍යාවශ්‍යය.
  6. *
    ඡන්ද පත්‍රිකාව රහස්‍ය ආකාරයෙන් සලකුණු කිරීමට ඡන්දදායකයින්ට අවස්ථාව සලසා දිය යුතුය.
  7. *
    සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව රහස්‍යතාවය රැකෙන පරිදි තැපැල් ඡන්ද හිමියා ඉදිරියේම නියමිත කවරවල බහා මුද්‍රා තබා එදිනම අදාළ තේරීම්භාර නිලධාරී වෙත රක්ෂණ තැපෑලෙන් යැවීම සඳහා තැපැල් කාර්යාලය වෙත භාර දිය යුතුය. මේ සඳහා කල් තබා අදාළ තැපැල් කාර්යාලය සමග සාකච්ඡා කිරීම සුදුසුය.
  8. *
    මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලින් පත් කරන ලද නියෝජිතයින්ට සහ මැතිවරණ නිරීක්ෂකයින් නම් කරනු ලැබුවහොත් ඒ අය වෙනුවෙන් අවස්ථාව සලසා දිය යුතුය.
  9. *
    තේරීම්භාර නිලධාරී විසින් තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා එවනු ලබන සහකාර තේරීම්භාර නිලධාරීන්ට ද ඒ සඳහා පහසුකම් සැලසිය යුතුය.

තැපැල් ඡන්ද රාජකාරීන්හි යෙදෙන නිලධාරීන්ට සහ දේශපාලන පක්ෂ වලට අදාල කරුණු

තැපැල් ඡන්ද සලකුණු කරන විශේෂ දිනයන්හි දී එක් සහතික කිරීමේ නිලධාරී කාර්යාලයක් සඳහා එක් අපේක්ෂකයෙකු නියෝජනය කරමින් නියෝජිතයින් කී දෙනෙකු පත් කළ හැකිද?

දෙදෙනෙකු

මෙම පත් කිරීම කරනු ලබන්නේ කා විසින්ද?

පක්ෂයේ ලේකම් / බලය ලත් නියෝජිත හෝ කණ්ඩායම් නායක විසින් පමණි.

තැපැල් ඡන්ද රාජකාරීන්හි යෙදෙන නිලධාරීන්ට, දේශපාලන පක්ෂ වලට සහ නිරීක්ෂණ සංවිධාන වලට අදාල කරුණු

තැපැල් ඡන්ද සලකුණු කරන කාර්යාලයක රැඳී සිටිමින් එම කටයුතු නිරීක්ෂණය කිරීමට දේශීය නිරීක්ෂකයින් කී දෙනෙකුට හැකිද?

මැතිවරණ කොමසාරිස් විසින් අනුමැතිය දී ඇති දේශීය නිරීක්ෂක කණ්ඩායම් වලින් එක් නිරීක්ෂකයෙකු බැගින් සහභාගී විය හැක.

තැපැල් ඡන්ද සලකුණු කරන දිනයන්හි දී සපුරා තිබිය යුතු අවශ්‍යතා මොනවාද?

  1. *
    තැපැල් ඡන්ද සලකුණු කරන ආයතන පරිශ්‍රයේ කිසිඳු පක්ෂයකට/ කණ්ඩායමකට අයත් සලකුණක්, වර්ණවත් සැරසිලි ප්‍රදර්ශනය කිරීම නොකළ යුතුය.
  2. *
    මැතිවරණයේදි තරඟ වදින කිසිඳු පක්ෂයක්/ අපේක්ෂකයකුගේ දැන්වීමක්, බැනරයක්, කටවුට් එකක්, ඡායාරූපයක් වැනි ප්‍රවර්ධන හෝ ප්‍රචාරක කටයුත්තකට අදාළ කිසිඳු දෙයක් ප්‍රදර්ශනය නොවන බවට සහතික විය යුතුය.
  3. *
    තැපැල් ඡන්දදායකයාට රහසින්, එනම් ඡන්දය සළකුණු කිරීම හා වෙනත් කිසිඳු අයෙකුට පෙන්වීම හෝ ප්‍රදර්ශනය කිරීම හෝ නොකර නිදහස්ව බලපෑමකින් තොරව ඡන්දය සළකුණු කිරීම සඳහා ප්‍රතිපාදන සපයා දී තිබිය යුතුය.
  4. *
    තැපැල් ඡන්ද සලකුණු කරන ස්ථානයේ ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම සපුරා තහනම්ය
  5. *
    පාර්සල්, අවි ආයුධ තැපැල් ඡන්ද සලකුණු කරන ස්ථානයට රැගෙන ඒම සපුරා තහනම්ය.
  6. *
    තැපැල් ඡන්ද සලකුණු කරන ආයතනයේම සේවය කරන, මැතිවරණයට තරඟ වදින දේශපාලන පක්ෂයක/ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු වන අයෙකුට කාර්යාල පරිශ්‍රයට කිසිඳු අවස්ථාවක ඇතුළුවීමට හෝ කාර්ය මණ්ඩලය සමඟ කිසිඳු සම්බන්ධතාවයකට ඉඩ නොදිය යුතුය.
  7. *
    තැපැල් ඡන්ද සළකුණු කරන ස්ථානයට පැමිණ සිටීමට අවසර ඇති, මෙම කටයුතු සඳහා යොදවා ගන්නා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්, මැතිවරණ කොමිෂන් සභාව විසින් අවසර දී ඇති දේශීය නිරීක්ෂණ කණ්ඩායම්වල නියෝජිතයන් හා මෙම කටයුතු අධීක්ෂණය සඳහා පැමිණෙන සහකාර තේරීම්භාර නිලධාරීන් හැර වෙනත් කිසිඳු අයෙකුට තැපැල් ඡන්ද සළකුණු කරන ස්ථානයේ රැඳී සිටීමට ඉඩ නොතැබිය යුතුය.
  8. *
    තැපැල් ඡන්ද සලකුණු කරන ආයතනයේ සෑම තැපැල් ඡන්ද දායකයකුගේම අනන්‍යතාව, ඒ සඳහා පිළිගන්නා ලේඛනයක් මගින් සනාථ කර ගැනීම හා ඒ අයට අදාළ නිශ්චිත තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටුව තෝරා ගැනීමට හැකි වන සේ ප්‍රශස්ත ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුවේ.
  9. *
    තැපැල් ඡන්ද හිමියා විසින් සළකුණු කරන ලද තැපැල් ඡන්ද පත්‍රිකාව “B” කවරය තුළට බහා එය ඡන්ද හිමියා ඉදිරියේදී අලවා තැපැල් ඡන්ද හිමියා අත්සන් කළ සහතික කිරීමේ නිලධාරී අත්සන් කිරීමෙන් සහතික කළ අනන්‍යතා ප්‍රකාශය එම කවරයට අමුණා ඒවා “A” කවරයේ බහා එය හොඳින් අලවා එහි අළු පැහැති ස්ටිකරය අලවා අදාළ තැපැල් කාර්යාලය වෙතට භාරදිය යුතුය. මෙම රක්ෂිත පැකට්ටු තැපැල් කාර්යාල වෙතට භාරදීම සනාථ කරවා ලදුපතක් ලබා ගත යුතු වේ.