මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

මැතිවරණ නීති හා රෙගුලාසි

මැතිවරණ  නීති යනු මොනවාද?

යම් මැතිවරණයක් සාධාරණ ලෙස හා නිදහස්ව පැවැත්වීමට අවශ්‍ය බලය, පරිපාටි හා ක්‍රමවේදය සඳහන් වන්නේ මැතිවරණ නීති හා රෙගුලාසි තුළය.

 

ශ්‍රී ලංකාවේ පවත්නා මැතිවරණ නීති මොනවාද?

(1)   ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

(2)   1946 මැතිවරණ රාජාඥාවේ තවමත්  බලපාන කොටස්

(3)   1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත

(4)   1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත

(5)   1981 අංක 07 දරන ජනමත විචාරණ පනත

(6)   1988 අංක 02 දරන පළාත් සභා මැතිවරණ පනත

(7)   පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනත (262 අධිකාරිය)

(8)   1946 අංක 53 පළාත් පාලන මැතිවරණ ආඥා පනත (මේ වනවිට සංශෝධන 17 ක් කර ඇත)

(9)   2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත

(10)  2016 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (සංශෝධන ) පනත

 

1.1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත

(අ)   මැතිවරණ කොමිෂන් සභාවේ නියමය ගැසට් පත්‍රයේ පළවන දින සිට "දින දහසයකට නොඅඩු සහ දින විසි එකකට නොවැඩි" දිනයක් තුළ නාමයෝජනා කිරීමේ දිනය ලෙසත්,

(ආ)  නාම යෝජනා කිරීමේ දින සිට "සති හතරකට නොඅඩු සහ සති හයකට නොවැඩි " දිනයක් ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කළ යුතු ය.

 

2.1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත

(අ)   ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන නිවේදනයේම නාම යෝජනා කාල සීමාව හා ඡන්ද විමසීම් දිනය සඳහන් කරනු ලැබේ.

 

3.1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත

(අ)   මැතිවරණ කොමිෂන් සභාව විසින් නාමයෝජනා පිළිබඳ දැන්වීම පළ කරන ලද දිනයෙන් පසුව එළඹෙන දහහතරවන දිනයෙන් ආරම්භව ඒ දැන්වීම පළ කරනු ලැබූ දිනයෙන් පසුව එළඹෙන විසි එක්වන දින මධ්‍යාහන දොළහට නාම යෝජනා කාල සීමාව අවසන් වේ.

(ආ)   නාම යෝජනා භාර ගැනීමෙන් පසුව තරඟයක් ඇති යම් පරිපාලන දිස්ත්‍රික්කයක් සම්බන්ධයෙන් තේරීම්භාර නිලධරයා විසින් ඡන්ද විමසීම පිළිබඳ දැන්වීමක් පළකළ යුතු අතර, එදින සිට"සති පහකට නොඅඩු සහ සති අටකට නොවැඩි" යම් දිනයක් වන්නා වූද "සෙනසුරාදා දිනයකට යෙදෙන යම් දිනයක්" ඡන්ද විමසීම් දිනය ලෙස ප්‍රකාශයට පත්කළ යුතු ය.

 

4.පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් ආඥා පනත (262 වන අධිකාරය)

(අ)   දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම් නිලධරයා විසින් ඡන්ද විමසීමක් පැවැත්වීමට අදහස් කරන බව දන්වමින් දැන්වීමක් පළ කරන ලද දිනයට පසුව එළඹෙන දහහතර වන දිනයෙන් ආරම්භව විසි එක්වන දින මධ්‍යාහන දොළහෙන් අවසන් වන කාල සීමාව තුල නාම යෝජනා භාර ගැනීමේ කාල සීමාව බව දැන්වීමේ සඳහන් කළ යුතු ය.

 

5.1981 අංක 7 දරන ජනමත විචාරණ පනත

(අ)   ගැසට් පත්‍රයෙහි පළ කරනු ලබන ප්‍රකාශනයකින් ජනමත විචාරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් නියම කරනු ලබන අවස්ථාවක එම "ප්‍රකාශනයේ සිට දින තිහකට කලින් නොවන දිනයක්" නියම කොට ජනමත විචාරණයක් පැවැත්විය යුතු ය.

      ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුවට, පළාත් සභා වලට සහ පළාත් පාලන ආයතන වලට නියෝජිතයන් පත් කිරීම සහ ඡන්ද හිමියන් ගණන් ගැනීමෙන් පසුව වාර්ෂිකව ඡන්දහිමි නාමලේඛනය සැකසීම යන මූලික අභිමතාර්ථ දෙක සපුරා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ මැතිවරණ නීති යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් කටයුතු කෙරේ. මැතිවරණ වලට සම්බන්ධ නීති සහ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම නිසා මැතිවරණ කොමිෂන් සභාවේ කටයුතු වෙනස් නොවන, කලින් කලට පවත්වනු ලබන ඒකාකාරි ස්වභාවයක් ගන්නේ යැයි සළකනු ලැබේ. 1978 සමානුපාතික නියෝජන ක්‍රමය සමඟ නව මැතිවරණ නීති හඳුන්වා දීමේ ප්‍රතිඵලය ලෙස සෑම මැතිවරණයක්ම එක් දින මැතිවරණයක් වූ අතර, ඡන්ද විමසීම් නිරන්තරයෙන්ම සෑම මාස 15කට වරක්වත් පැවැත්වීමට සූදානම්ව සිටීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදුවී ඇත. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ මූලික අවශ්‍යතාවයක් වන ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලියක් අත්කර ගැනීම කෙරෙහි දේශපාලන පක්ෂ, අපේක්ෂකයින්, පොදු මහජනතාව, සිවිල් සංවිධාන යන මැතිවරණ නීතිවලට සම්බන්ධ සියලු මට්ටම් උනන්දුවක් දක්වති. එම නිසා මැතිවරණ නීති මූලධර්ම අභිමතාර්ථ සපුරාලන පරිද්දෙන්, මැතිවරණ ක්‍රියාදාමය සංවර්ධනය කිරීමට හේතුවන ඕනෑම පියවරක් ජාතික ප්‍රමුඛතාවයකින් යුක්තයැයි සලකනු ලැබේ.

      මීට අමතරව මේවාට අදාළ වෙනත්  පනත් මගින්ද යම් යම් ප්‍රතිපාදන සලසා ඇත‍. උදා. 1987 අංක 42 දරන පළාත් සභා පනත.