මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය, සරණ මාවත, රාජගිරිය, ශ්‍රී ලංකාව. 10107
LOGO

මැතිවරණ සම්බන්ධයෙන් වැදගත් වන අධිකරණ තීන්දු

 

ඡන්ද බලය සම්බන්ධව වැදගත් වූ කැපී පෙනෙන නඩු තීන්දු කිහිපයක් පවතී. මැතිවරණ පෙත්සම් මඟින් ද මැතිවරණ නීතිය අර්ථ දැක්වීම හා නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සම්බන්ධව  පරිපාටි පිළිබඳව නඩු තීන්දු ලබාදී ඇත. තෝරාගත් නඩු තීන්දු කිහිපයක් මෙහි දැක්වේ.

  • ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 සහ 126 වන ව්‍යවස්ථා යටතේ සහ එම ව්‍යවස්ථා ප්‍රකාර වූ ඉල්ලීම පිළිබඳ වූ කාරණය

ඉල්ලීම් අංකය (SC FR 35/2016)

01. ඡන්ද බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන මුලික අයිතියකි.

ඡන්ද ප්‍රකාශ කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇතුලත් බවත් , දේශපාලන වේදිකාවක හෝ වෙනත් ආකාරයක අදහස් ප්‍රකාශ කිරීම මෙන්ම රහසිගතව සිදු කරන ඡන්දය ප්‍රකාශ කිරීමද අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතියට ඇතුළත් වන බව තීරණය කර ඇත.

(දේශප්‍රිය - කරුණාතිලක එ. මැතිවරණ කොමසාරිස් හා තවත් 13 දෙනෙක් (1999-1-SLR-157)

 

02. සෑම ඡන්දයක්ම පුරවැසියාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ කොටසකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ඉ ව්‍යවස්ථාව මඟින් ඡන්ද බලය මඟින් ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීම සම්බන්ධව පාර්ලිමේන්තු ඡන්දය, ජනමත විචාරණය, ජනාධිපතිවරණය සඳහන් වුවද පළාත් සභා ඡන්දය හෝ පළාත් පාලන ආයතන ඡන්දය ගැන සඳහන් නොවේ. (1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවන අවස්ථාව වන විට පළාත් සභා ව්‍යුහයක් නොතිබීම හා පළාත් සභා ව්‍යුහය 1988 දී ස්ථාපිත වීම එයට හේතු වන්නට ඇත.) ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ සෑම ඡන්ද විමසීමකදීම ජනතාව ඡන්ද බලය මඟින් තම පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන බවත්, මේ නිසා එය සියලු මහජන නියෝජිතයන් තෝරා ගැනීමේ ඡන්ද වලදී පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ කොටසක් බවත් ය.

(එගොඩවෙල / මැදිවක ඒ.දිසානායක  - (2001-1-SLR-177)

 

03. නිදහසේ ගමනාගමනයට ඉඩ නොදීම හා ඡන්දය ප්‍රකාශ කිරීමට යාම වැළැක්වීම - මුලික අයිතිවාසිකම් උල්ලංගනයකි.

2002 වර්ෂයේදී දෙමළ ජාතිකයින් පිරිස් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මඩකලපුවේ සිට පැමිණීමේදී ඡන්ද මධ්‍යස්ථානය අදාල ප්‍රදේශයට පැමිණීමට ආරක්ෂක හමුදා ඉඩ ලබා දුන්නේ නැත. තම නිදහස් ගමනාගමන බාධා කිරීම හා ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ලබා නොදීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(ඇ) හා 14(1)(උ) ව්‍යවස්ථා උල්ලංගනය කිරීමක් බවට ඔවුන්ගෙන් තිදෙනකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණිලි කරන ලදී. මෙය බරපතල ලෙස සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ආරක්ෂක අංශවල එම ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1) (අ) - අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංගණය කිරීමක් බවට තීරණය කරන ලදී. මේ නිසා රජය මඟින් රුපියල් ලක්ෂය බැගින් වූ මුදලක් හා හමුදාපතිවරයාට පෞද්ගලිකව රුපියල් 30,000/- බැගින්ද පෙත්සම්කරුවන් තිදෙනාට ගෙවීමට නියම වූ අතර මැතිවරණ කොමසාරිස්වරයාටද නාමික රුපියල් 1000/- මුදලක් ගෙවීමට නියම විය.

(සෝතිලිංගම් නවනන්දන් එ. දයානන්ද දිශානායක හා කනපතිපිල්ලේ එ. දයානන්ද දිශානායක හා තවත් අය - SC FR-25-26/2002)

 

04. ඡන්ද පෙත්සමක් නඩුවේ පාර්ශවකරුවන් අතර පමණක් නොව කොට්ඨාසයේ පුරවැසියන්ගේ මුලික අයිතියක් බවට පත්වේ. එය රටටම බලපාන පොදු කාරණයකි.

(සරවනමුත්තු එ. ද මෙල් නඩුවේදී විශේෂයෙන් හුවා දක්වන ලද, රඹුක්වැල්ල එ සිල්වා - (1924-26 NCR-253-254) නඩුවේ බර්ට්‍රම් අගවිනිසුරුතුමා දී ඇති තීරණය හා කර ඇති ප්‍රකාශය)

 

05. පවතින මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ ප්‍රශ්නය ඡන්ද පෙත්සමකදී පෙත්සම්කරු හා වගඋත්තරකරු අතර ප්‍රශ්නයක් නොව ඡන්ද කොට්ඨාශයේ පොදු යහපතට අදාළ කරුණකි.

බුත්තල ආසනයට ඉදිරිපත් කළ ඡන්ද පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ඉඩ නොදෙමින් ගෙන ඇති තීරණය.

(ඇලෙක්සැන්ඩර් එ. ලියෝ ප්‍රනාන්දු - 1949-NLR-202)

 

06. මැතිවරණයකදී අපේක්ෂකයෙකු හා ඔහුගේ නියෝජිතයෙකු අතර ඇති සම්බන්ධතාවය ස්වාමියකු හා සේවකයකු අතර සම්බන්ධතාවයට සමීප වන බවට තීරණය කිරීම.

(එස්.ජේ.වී. සෙල්වනායගම් එ. එස් නටේසන්  - 1956 NLR 271)